කාබනික පොහොර භාවිතය 30% දක්වා ඉහළට ගෙන ඒමේ ඉලක්කයක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළව ඉදිරි වසර 03 තුළ කාබනික පොහොර භාවිතය 30% දක්වා ඉහළට ගෙන ඒම ප්‍රධාන ඉලක්කයක් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

කොමර්ෂල් පොහොර සමාගම,කාබනික පොහොර නිෂ්පාදන හා සැපයුම සඳහා වන ආයතන ලෙස පරිවර්තනය කොට පළාත්පාලන ආයතන ද සම්බන්ධ කරගෙන කාබනික පොහොර නිෂ්පාදනයට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ද හිමිව ඇතැයි අමාත්‍යවරයා අද(02) පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.

මීට අමතරව කර්මාන්ත අමාත්‍යාංශයේ ලංකා පොස්පේට් සමාගම හා එක්ව රසායනික පොහොර සමාගමක් ස්ථාපනය කිරීමට ද පියවර ගනිමින් සිටී.

එසේම එප්පාවල නිධියේ ඇපටයිට් භාවිත කරමින් ත්‍රිත්ව සුපර් පොස්පේට් පොහොරවලට (TSP) ආදේශකයක් ලෙස(සින්ගල් සුපර් පොස්පේට්) පොහොර නිපදවීමට සැලසුම් සකස් කර ඇත.

අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ පළාත් පාලන ආයතන 341ට දෛනිකව එකතුවන කසල යොදාගෙන කාබනික පොහොර නිපදවා කාබනික පොහොර ඒකක පිහිටුවා ප්‍රාදේශීයව ගොවීන්ට බෙදා දීමේ වැඩපිළිවෙලක් ද දියත් කෙරෙන බවයි.

එමෙන්ම ගොවිජන සේවා කොට්ඨාසයකට ජාතික පොහොර ලේකම් කාර්යාලයට අනුයුක්තව සංවර්ධන නිලධාරීන් 562ක් පත්කරනු ලබන අතර, ඔවුන් මඟින් එක කොට්ඨාසයකින් මසකට මෙට්‍රික්ටොන් 10 බැගින් නිපදවන නිෂ්පාදකයින් 10 දෙනෙකු 2023 වනවිට බිහි කිරීමට අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *