රිචඩ් පීරිස් සමාගමේ ෆිච් ශ්‍රේණිගත කිරීම සංශෝධනය වෙයි

(කොළඹ, ලංකාපුවත්) –රිචඩ් පීරිස් ෆයිනෑන්ස් සමාගමේ (Richard Pieris Finance Limited) ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම A-(lka) සිට AA-(lka) (ස්ථාවර දැක්මක් සහිත) දක්වා සංශෝධනය කිරීමට ෆිච් රේටිංස් ලංකා (Fitch Ratings Lanka) සමාගම පසුගියදා කටයුතු කළේය.

රිචඩ් පීරිස් ෆයිනෑන්ස් සමාගමේ මවු සමාගමේ ජාතික වර්ගීකරණයේ සිදුකරන ලද සංශෝධනයන්ට සමගාමීව මෙම සංශෝධනය සිදුකර තිබේ.

රිචඩ් පීරිස් ෆයිනෑන්ස් සමාගම යනු, ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම සන්නාමයන්ගෙන් එකක් වන ආර්පිකෝ සන්නාමය හිමි රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධිත උප සමාගමකි. ව්‍යාපාර ක්ෂේත්‍ර රාශියක් ආවරණය කරන, 28,000 කට වැඩි කාර්‍ය මණ්ඩලයකින් සමන්විත දැවැන්ත ව්‍යාපාරයක් වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරය මෑතකාලීනව පළමු හා දෙවන පෙළ මට්ටම් වල ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම සඳහා රු. බිලියනයකට අධික ආයෝජනයන් සිදු කළේය. ඒ අනුව වර්තමානය වනවිට රිචඩ් පීරිස් ෆයිනෑන්ස් සමාගමේ සමුච්චිත ප්‍රාග්ධන ආයෝජනය රු. බිලියන 2.2 ක් වී තිබේ.

අභියෝගකාරී ආර්ථික පසුබිමක් තුළ සිදුවූ මෙම සංශෝධනය, වසර 88 ක උරුමයක් සහිත රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සහයෝගය හිමි රිචඩ් පීරිස් ෆයිනෑන්ස් සමාගමේ ශක්තියට මනා සාක්ෂියකි. රටපුරා විසිරුණු කර්මාන්ත ශාලා 50 කට අධික සංඛ්‍යාවක් සහ ආර්පිකෝ හයිපර් මාකට් සුපිරි වෙළෙඳසැල් 30 කට අධික සංඛ්‍යාවක් හිමි රිචඩ් පීරිස් සමූහය, මෙරට විශාලතම තේ හා රබර් නිෂ්පාදකයා වශයෙන් වාර්ෂිකව විශාල විදේශ විණිමයක් මෙරටට දායාද කරන හා දේශීය ආර්ථිකයට පණ දෙන ප්‍රමුඛතම සමාගම් අතරින් එකක් ලෙස හැඳින්විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × five =