යාන්ඔය නිම්නයේ ගොවිතැන් සඳහා වසවිස තහනම්

(කොළඹ, ලංකාපුවත්) – යාන් ඔය ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමි වූ ගොවීන් සඳහා අළුතින් ඉඩම් ලබා දුන් “යාන්ඔය නිම්නය” වසවිසෙන් තොර ගොවිජන කලාපයක් ලෙස නම් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පියවර ගත්තාය.

ඒ ත්‍රිකුණාමලය සහකාර ගොවිජන සේවා කොමසාරිස් වරුණි සරවානන්දන් මහත්මිය විසින් සිදු කළ විශේෂ යෝජනාවකට අනුවය.

ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි අද(09) පැවති විශේෂ රැස්වීමකදි ආණ්ඩුකාරවරිය මෙම තිරණය ගත්තාය.

ඒ අනුව, මින් ඉදිරියට යාන් ඔය නිම්නයට අයත් අක්කර 500ක භුමි ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා කිසිදු පළිබෝධනාශකයක් හෝ රසායනික ද්‍රව්‍යයක් එක් කිරීම සම්පූර්ණයෙන්ම තහනම්වේ.

එම ප්‍රදේශයේ ගොවි බිම් සඳහා රසායනික ද්‍රව්‍ය යෙදිමෙන් සිදු වන විනාශය නතර කිරීම සඳහා මෙම තිරණය ගැනීමට හේතුවි තිබේ.

අලුතින් ඉඩම් ලැබුණු එම පරිසරයේ ජෛවවිවිධත්වය ආරක්ෂා කර ගනිමින් කෘෂිකාර්මික කටයුතු වල නිරත වන ලෙස ගොවීන් දැනුවත් කිරීමටද මෙහිදී යෝජනා විය.

ගොවීන් එවැනි කටයුතු සිදු කරන්නේ දැයි අධික්ෂණය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද ආණ්ඩුකාරවරිය මෙහිදි සහකාර ගොවිජන සේවා කොමසාරිස්වරියට උපදෙස් දුන්නාය.

මේ අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී.වනිගසිංහ, ආණ්ඩුකාර ලේකම් එල්.පි.මදනායක, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් කලාමදී පද්මරාජා, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක ආචාර්ය හුසේන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *