Ballast Nedam සහ ජාතික ජල සම්පාදන මණ්ඩලය එක්වී හෙම්මාතගම පවුල් 17,000 කට පිරිසිදු පානීය ජලයසපයයි

(කොළඹ, ලංකාපුවත්) – නෙදර්ලන්තයේ ඉදිකිරීම් හා සංවර්ධන සමාගමක් වන Ballast Nedam International Projects B.V. විසින් පසුගිය සතියේදී හෙම්මාතගම ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීම ඉලක්ක කරගත් නව ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදි. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ වූ පසුව හෙම්මාතගම ප්‍රදේශයේ පවුල් 17,000 කට පිරිසිදු පානීය ජල පහසුකම් හිමිවනු ඇත. Ballast Nedam යනු ප්‍රජාවන්ට යහපත සැලසීම සම්බන්ධයෙන් විශාල කීර්තියක් දිනා සිටින, වසර 140 කට වැඩි ඉතිහාසයක් හිමි සමාගමකි.

සබරගමුව පළාතේ කෑගල්ලට නුදුරින් පිහිටා ඇති හෙම්මාතගම ප්‍රදේශයේ ගම්මාන 7 ක පවුල් පරිභෝජනය කරන්නේ අහුපිනි ඇල්ලෙන් ලබාගත් පිරිසිදු නොකළ ජලයයි. ඒ වෙනුවට පිරිසිදු පානීය ජලය පරිභෝජනය කිරීම මගින් ඔවුන්ට වඩාත් නිරෝගී ජීවිත ගතකිරීමට අවස්ථාව ලැබෙනු ඇති අතර, එය දැනටමත් බරපතළ පීඩනයකට ලක්වී ඇති සෞඛ්‍ය සේවාවට කිසියම් සහනයක්ද රැගෙන එනු ඇත.

Ballast Nedam සමාගම එහි මවු සමාගම වන Renaissance Construction සමග එක්වී මෙම ව්‍යාපෘතියේ සැලසුම් අදියරේ සිට, නිවාස 17,000 කට ජලය සැපයීම සහ ජල මාපක සවිකිරීම දක්වා සම්පූර්ණයෙන්ම මෙහෙයවීම සිදුකරයි. මේ යටතේ මූලික වශයෙන් ජල ටැංකි 7 ක් සම්බන්ධ කරමින් කිලෝමීටර් 40 ක් දුර ජල නල එළීමට නියමිත වන අතර, සමස්ත බෙදාහැරීම් ජාලය කිලෝමීටර් 70 ක පමණ දුරක් ආවරණය කරනු ඇත. මෙම ව්‍යාපෘතියට ඝන මීටර් 20,000 ක දෛනික ධාරිතාවකින් යුත් ජල පවිත්‍රාගාරයක්ද ඇතුළත් වේ.

සෑම ගම්මානයකම වෙනම ජල ටැංකියක් ඉදිකෙරෙන අතර, ඇතැම් ස්ථාන වලදී පොළොව යටින් සහ ඇතැම් ස්ථාන වලදී පොළොවට උඩින් වශයෙන්, ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙකු සතු ඉඩම් හරහා මෙම ව්‍යාපෘතියේ ජල නල දිවෙනු ඇත. මේ සඳහා අදාළ හිමිකරුවන්ගෙන් නිසි අවසරය ලබාගැනීමට සමාගම පියවර ගෙන තිබේ. ජල ටැංකි වල ඉදිකිරීම් කටයුතු 50% කට වඩා අවසන් වී ඇති අතර, ජල පවිත්‍රාගාරයේ ඉදිකිරීම් මේ වනවිට ආරම්භ වී ඇත. පසුගිය සතියේදී මුල්ම ජලනල එළනු ලැබුවේ මෙම ජල පවිත්‍රාගාරය වෙනුවෙනි.

හෙම්මාතගම ප්‍රදේශය කඳු සහිත වීම මෙම ව්‍යාපෘතියට බෙහෙවින් වාසිදායක සාධකයක් වී ඇත. මේ නිසා ජල පොම්ප භාවිතයෙන් තොරව, ගුරුත්වාකර්ෂණය භාවිතයෙන් ව්‍යාපෘතියේ ජලය බෙදාහැරීම් කටයුතු සිදුකිරීමට හැකියාව ලැබී තිබේ. මෙමගින් වියදම අවම වන අතරම එය වඩාත් පරිසර හිතකාමී වන බව ව්‍යාපෘති කණ්ඩායම පෙන්වා දෙයි. Ballast Nedam සමාගම පරිසර හිතකාමීත්වය සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වන අතර එය සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් ලෙසද සලකයි. ලොව පුරා සිය ව්‍යපෘති වලදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වා දුන් තිරසාර සංවර්ධන ඉලක්ක 17 ට අනුව එම කටයුතු සිදුකිරීමට Ballast Nedam සමාගම පියවර ගෙන තිබේ. හෙම්මාතගම ව්‍යාපෘතියේදී බලශක්ති පරිභෝජනය අඩු කිරීම හා මෙහෙයුම් වියදම් අවම කිරීම සඳහා ජල පොම්ප වෙනුවට ගුරුත්වාකර්ෂණය භාවිතා වන ක්‍රමවේදයක් භාවිතා කිරීමද එම උත්සාහයේ එක් පියවරකි.

මෙම ව්‍යාපෘතිය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙනුවෙන් සිදුකරනු ලබන්නක් වන අතර,එහි මූල්‍ය සම්පාදනය නෙදර්ලන්තයේ ING බැංකුවෙනි. ශ්‍රී ලංකාවටද දැඩිව බලපා ඇති ගෝලීය මට්ටමේ අර්බුදයක් වන COVID-19 රෝග ව්‍යාප්තිය මධ්‍යයේ පවා ව්‍යාපෘතිය නිසි කාලයට අවසන් කිරීම සඳහා Ballast Nedam සමාගම සහ ජල සම්පාදන මණ්ඩලය එක්ව කටයුතු කරමින් සිටී.

“මේ ආකාරයට හෙම්මාතගම ජනතාවට පිරිසිදු කරන ලද පානීය ජලය සැපයීම මගින් එම ප්‍රදේශයේ සමාජ ආර්ථික තත්ත්වය නංවාලීම අපගේ බලාපොරොත්තුව වී තිබෙනවා. COVID-19 වසංගත තත්ත්වය නිසා ඇතිවී තිබෙන අභියෝග හමුවේ පවා, නිසි කාලයට සහ බලාපොරොත්තු වූවාටත් වඩා හොඳ මට්ටමකට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට අප උනන්දු වන්නේ ඒ නිසයි.” Ballast Nedam සමාගමේ ව්‍යපෘති කළමනාකරු Serkan Kumbasar මහතා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *