සුරක්ෂිත විදේශ රැකියාවක් වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) –සුරක්ෂිත විදේශ රැකියාවකට යොමු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකපත් ඇති පුහුණු ශ්‍රමිකයන් විවිධ රැකියා ක්ෂේත්‍රයන්ට යොමු කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය හා නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය ඊයේ (09) නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී, අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

මෙම අත්සන් තැබීම විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය විසින් සිදු කරන ලදි.

ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව නිපුණතා සහිත විදේශ රැකියා බලකායක් බිහිකර, සුරක්ෂිත විදේශ රැකියාවකට යොමු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකපත් ඇති පුහුණු ශ්‍රමිකයන් විවිධ රැකියා ක්ෂේත්‍රයන්ට යොමු කිරීම මෙම වැඩපිළිවෙළහි ප්‍රධාන අරමුණ වේ. එසේම මෙම අවබෝධතා ගිවිසුම මගින් විදේශීය ශ්‍රම වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ධාරිතාව වැඩි කිරිම සඳහා පුහුණු වැඩසටහන් හා නිපුණතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරිම අපේක්ෂා කෙරේ. එමෙන්ම දැනට වෘත්තිය පුහුණු ආයතන මගින් පවත්වනු ලබන පුහුණු පාඨමාලා හදාරනු ලබන පුහුණුලාභින් හට විදේශ රැකියා අවස්ථාවන් උදාකර දිමත්, ඒ සඳහා නිශ්චිත වශයෙන් විදේශ රටවල පවතින රැකියා අවස්ථා සහ ඉදිරියේදි ජනනය විය හැකි රැකියා අවස්ථාවන්ද සැලකිල්ලට ගෙන පුහුණු පාඨමාලාවන් සකස් කිරිමත් සිදුකිරිමට නියමිතය.

මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුන්දර අරුමෙයිනායහම්, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පද්මා රාජපක්ෂ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ යන මහත්ම මහත්මින් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *