2024 දී ශ්‍රී ලංකාවේ දියර කිරි අවශ්‍යතාවයෙන් 80% ක් නිෂ්පාදනය රජයේ ඉලක්කයයි

(කොළඹ, ලංකාපුවත්) –දැනට මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවයෙන් 40ක් % ක් පමණක් දේශීය කිරි ගොවිපළවලින් ලබාගන්නා අතර ඉතිරි කිරි ප්‍රමාණය කිරි පිටි සහ දියර වශයෙන් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති නමුත් කිරි සැකසුම් ඉදිරියේදී වර්ධනය කර ශ්‍රී ලංකාවේ පරිභෝජනයෙන් සියයට 80%ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා සිය රජය සූදානමින් සිටින බව අද (10) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය .

අග්‍රාමාත්‍යවරයා අද මෙසේ ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් අසන ප්‍රශ්න යටතේ දේශීය කිරි නිෂ්පාදනය සහ පසුගිය වසරවලදී ආනයනික කිරි පිටි හා දියර සඳහා මෙරටින් විදේශයට ඇදී යන මුදල් ප්‍රමාණය පිළිබඳව කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි .

මෙම අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයාගේ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට පිළිතුරු ලබාදීමට එක් වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, 2024 වර්ෂය වන විට අවම වශයෙන් ශ්‍රී ලංකාවේ පරිභෝජනයෙන් සියයට 80%ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම මෙම රජයේ ඉලක්කය බව සඳහන් කර සිටියේය.

එම ඉලක්කය සඳහා මෙම රජය විවිධ පියවර රැසක් ගෙන ත‍ිබෙන නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සඳහන් කළ ලෙස පසුගිය රජය යොදාගත් අසාර්ථක ක්‍රමයක් වූ විදේශ ගව වර්ග ආනයනයට තමුන් සූදානම් නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා මේ වන විට ගවයින් 10,000ක් ආනයනයට සූදානම්ව සිටින්නේ පෞද්ගලික ව්‍යාපාරිකයන් පමණක් බවත් රජය විසින් සිදු කරන්නේ එම ව්‍යාපාරිකයන් හට ඉඩම් ලබා දීමක් බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට වඩා සුදුසු ගව ප්‍ර‍භේදයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යෝජනා කළ ඉන්දියානු ගව විශේෂ ලබාගැනීමට ඉන්දියාව විසින් මෙරටට අවසර ලබා නොදෙන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළේය.

බුද්ධික පතිරණ මහතා වැඩිදුරටත් කළ විමසීමකට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කළ ගව ඝාතනය තහනම් කිරීමේ තීන්දුවේ තත්ත්වය ද මෙහිදී පැහැදිලි කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ සම්බන්ධයෙන් ජාතික පශු සම්පත් මණ්ඩලයේ ගොවිපළවලදී පිරිමි ගවයන් ඒකරාශිකරණයෙන් එම ක්‍රියාවලිය ආරම්භ කිරීමට සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි.

මෙහිදී කරුණු පැහැදිලි කරමින් ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ මෙරට කිරි නිෂ්පාදනය කරනු ලබන ලියාපදිංචි කිරි ගොවිපළ සංඛ්‍යාව ලක්ෂ තුනකට වැඩි බවයි. එමෙන්ම තවත් සුළු හා මධ්‍ය පරිමාණ සැකසුම්කරුවන් විශාල සංඛ්‍යාවක් දියර කිරි එකතු කිරීමේ කාර්යයට දායක වන බව සදහන් කළ අග්‍රාමාත්‍යවරයා 2018 වසරේදී ගොවිපළ 375134 කින් කිරි ලීටර 494,852,792ක් ද 2019දී ගොවිපළ 332,000 කින් කිරි ලීටර 424,131,091ක් නිෂ්පාදනය කළ බවද පාර්ලිමේන්තුව ට දන්වා සිටියේය .

කෙසේ වෙතත් 2018 දී ආනයනය කරන ලද සම්පූර්ණ දියර කිරි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 466ක් සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 200 ක් වන අතර 2019 දී ආනයනය කරන ලද සම්පූර්ණ දියර කිරි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 318ක් සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 127 ක් වෙයි. 2020 දී දී ආනයනය කරන ලද සම්පූර්ණ දියර කිරි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 292ක් වන අතර ඊට ශ්‍රී ලංකා රුපියල් මිලියන 117 ක් වැයව ඇත.

ඊට අමතරව,කිරිපිටි ආනයනය සඳහා 2018 දී කිලෝග්‍රෑමි 98998244 ක් සඳහා රු.මි.50,277ක් ද 2019 දී දී කිලෝග්‍රෑමි 93587877 ක් සඳහා රු.මි.52,531ක් ද හා 2020 දී කිලෝග්‍රෑම් 96336498 ක් සඳහා රු.මි.58331ක් ද වැය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *