රුපියල් කෝටි 51ක වියදමින් ග්‍රාමීය ක්‍රීඩාංගණ 342ක සංවර්ධනය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –ක්‍රීඩාව හා තරුණ්‍යය කේන්ද්‍ර කර ගනිමින් කෙටි, මධ්‍ය හා දිගු කාලීන ඉලක්ක ගත වැඩපිළිවෙළක් සකස් කිරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය පියවර රැසක් ගෙන තිබේ.

එහි මූලික පියවරක් ලෙස ග්‍රාමීය ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණින් දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක් ක්‍රීඩා පිටියක් බැගින් ඉදිරිකිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ඒ අනුව එක් ක්‍රීඩාංගණයකට රුපියල් ලක්ෂ 15 බැගින් ක්‍රීඩාංගණ 342ක් සංවර්ධනය කිරීම ලබන මස 2 වැනිදා ආරම්භ වන බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ සඳහා ආසන්න වශයෙන් රුපියල් 513,000,000ක මුදලක් වැය වනු ඇත.

ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව පැවසූ ක්‍රීඩා ඇමැතිවරයා මේ ක්‍රීඩා ප්‍රවර්ධන කටයුතු සඳහා රුපියල් කෝටි 3000කට ආසන්න මුදලක් වෙන් කර ඇති බව ද කියා සිටියේය.

මේ ව්‍යාපෘති තුළින් ඉතිහාසයේ ප්‍රථම වරට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පාසල් සඳහා මුදල් වෙන් කර තිබීම විශේෂත්වයකි.

මහා පරිමාණ ක්‍රීඩාව හා ගොඩනැඟිලි සංවර්ධනය සඳහා ඉතිහාසයේ බොහෝ අවස්ථාවලදී මූලිකත්වය දී ඇති බවත්, තමන් ක්‍රීඩා ඇමැතිවරයා වීමෙන් පසු පත් කළ නව ක්‍රීඩා කවුන්සිලයේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ග්‍රාමීය ක්‍රීඩා පිටි ප්‍රමිතිගත කිරීමටත්, ක්‍රීඩා පිටියන්හි ප්‍රමුඛතාවන් හඳුනාගෙන කටයුතු කිරීමටත් අවධානය යොමුව ඇති බව ඇමැතිවරයා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව දිවයින පුරා පාසල් 10175 අතර පිහිටි බොහෝ පාසල්වල ක්‍රීඩා පිටි දරුවන්ට ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයක නැති බැවින් සියලු අධ්‍යාපන කලාප අතරින් එක් කලාපයකට එක් පාසලක් වන සේ තෝරා ගෙන ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව පාසල තුළ ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණින් පාසල් 99ක් තෝරා ගන්නා අතර, ඒවායේ ක්‍රීඩා පිටි පිළිසකර කිරීම, වැසිකිළි කැසිකිළි ඇතුළු සනීපාරක්ෂක පහසුකම් හා ඇඳුම් මාරු කිරීමේ කමර ඉදිකිරීම හෝ අලුත් වැඩියා කිරීම සිදු කිරීමට නියමිත අතර, ඒ සඳහා එක් පාසලකට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3.2කි.

ක්‍රීඩාශීලි දරුවන් පාසල්වලින් බිහි කිරීමේ අරමුණින් පාසල් සඳහා ක්‍රීඩා පහසුකම් සැපයීමේ අරමුණින් ක්‍රීඩා භාණ්ඩ හා වෙනත් ක්‍රීඩා පහසුකම් දීම වෙනුවෙන් රුපියල් මිලියන 380ක් වෙන් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය හරහා මේ පාසල්වලට ක්‍රීඩා උපකරණ බෙදා දෙන අතර, කලාප මට්ටමින් එක් පාසලක් බැගින් තේරා අවට පාසල්වල භාවිතයට ද ගත හැකි වන සේ විශේෂිත ක්‍රීඩා උපකරණ කට්ටලයක් දීමට සැලසුම් කර ඇත.

දැනට දිවයින පුරා ක්‍රීඩා පාසල් 30ක් පමණ ක්‍රියාත්මක වන අතර, එම ක්‍රීඩා පාසල්වල අධ්‍යාපන ලබන දරුවන්ගේ සුවිශේෂි ක්‍රීඩා දක්ෂතාවන්ගෙන් ජාතික හා අන්තර්ජාතික ජයග්‍රහණ අත් කර ගැනීම අවශ්‍ය මූලික යටිතල පහසුකම් සැපයීමේ අරමුණින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 250කි. පසුගිය වසරේ මේ පාසල් අතරින් 5ක් සංවර්ධනය කර තිබෙන අතර, මේ වසරේ තවත් පාසල් 12ක් සංවර්ධනය කිරීමට එමඟින් අපේක්ෂා කෙරේ. මේ සඳහා ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගනු ඇත.

මේ වැඩසටහන යටතේ මේ වසර තුළ රට තුළ පිහිටි මහජන ක්‍රීඩාංගණ 200ක් සංවර්ධනය කිරීමට කටයුතු කරන අතර, එක් ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 5ක් බැඟින් ඊට මිලියන 1000ක් වැය කරනු ඇත.

මීට අමතරව යෝජිත ක්‍රීඩා සංවර්ධන වැඩ සටහන යටතේ තරුණයන් සමාජ විරෝධී ක්‍රියාවලින් ඈත් කිරීමේ මූලික අරමුණින් ක්‍රීඩා සමාජ හා යෞවන සමාජ නඟා සිටුවීම වෙනුවෙන් රුපියල් මිලියන 350ක් වෙන් කර ඇති අතර, එමඟින් ක්‍රීඩා හා යෞවන සමාජවලට අවශ්‍ය ක්‍රීඩා උපකරණ සපයා දීමට බලාපොරොත්තු වේ. සාම්ප්‍රදායික ක්‍රීඩා සංවර්ධනය කිරීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 25ක් වෙන් කර ඇති අතර, ක්‍රීඩාව කෙරෙහි මහජන ආකර්ෂණය ඇති කරවා ගැනීම සඳහා ප්‍රචාරණ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කෙරේ.

ක්‍රීඩාව කෙරෙහි මහජන පිබිදීමක් ඇති කිරීමට හා ක්‍රීඩා කරන පිරිස වැඩිපුර ක්‍රීඩා තරගවලට යොමු කිරීමට අවස්ථාව දීම සඳහා ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමේ ක්‍රීඩා තරගාවලි සංවිධාන කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා රුපියල් මිලියන 15ක් වෙන් කර ඇති අතර, මැරතන්, බයිසිකල් ධාවන තරග මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් සංවර්ධනය කරන ක්‍රීඩාංගණ යොදා ගෙන සුවිශේෂි ක්‍රීඩා තරග සංවිධාන කිරීමට ද මෙමඟින් කටයුතු කරනු ඇත.

ප්‍රධාන පාසල් ඉලක්ක කර කෝටා ක්‍රමයකට ක්‍රීඩා දක්ෂතා ඇති දරුවන් පාසල් සඳහා ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා කර ඇතැයි පැවසූ ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා මේ සඳහා පාසල් 150ක් නිර්දේශ කර ඇතැයි ද කීය.

මීට අමතරව රටේ අනාගත ශ්‍රම බළකාය වන යොවුන් පරපුර මානසිකව මෙන්ම අාධ්‍යාත්මික වශයෙන් සවිබල ගැන්වීම සඳහා ‘යොවුන් සුවයට ක්‍රීඩාව’ වැඩසටහන යොදා ගැනීමට සැලසුම් කර ඇත. පාසල් සිසුන්, බන්ධනාගාරගතව සිටින තරුණ පිරිස්, යෞවන සමාජ සාමාජික සාමාජිකාවන් ඉලක්ක කර දිවයින පුරා ක්‍රියාත්මක මේ වැඩසටහන පොලිස් දෙපාර්තමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය සහ ජාතික තරුණ සේවා සභාව සමඟ එක්ව සිදු කිරීමට නියමිතය.

මේ අතර, ජාතික තලයේ ක්‍රීඩකයන් වෘත්තීමය ක්‍රීඩකයන් බවට පත් කිරීම සඳහා වන ගිවිසුම්ගත කිරීමේ වැඩ පිළිවෙළක් ද සකසා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය ක්‍රීඩකයන් සඳහා වාර්ෂික කොන්ත්‍රාත් ලබාදෙන අයුරින් අනෙකුත් ක්‍රීඩා සංගමය ද සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වාර්ෂික කොන්ත්‍රාත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇතැයි ද මාධ්‍ය හමුවේදී අනාවරණය විය. ඒ අනුව මුල් පියවරේදී මලල ක්‍රීඩා සංගමය දක්ෂතාව හා ජයග්‍රහණ පදනම් කර ගනිමින් ඔලිම්පික් හා ආසියානු තරග ඉලක්ක කර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 51 දෙනකු ගිවිසුම්ගත කර ඇති බව ද ක්‍රීඩා ඇමැතිවරයා පැවසීය.

මේ අවස්ථාවට ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහත්වරුන් සමඟ ක්‍රීඩා, ජනමාධ්‍ය සහ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශවල නිලධාරීහු පරිසක් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *