දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට තීරණ ගැනීමේ බලය ඇති නිලධාරීන් සහභාගි විය යුතුයි

(කොළඹ, ලංකාපුවත්) –ජනතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට තීරණ ගැනීමේ බලය ඇති නිලධාරීන් අනිවාර්යයෙන් සහභාගි විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

වගකිව යුතු නිලධාරීන්ගේ නිසි දායකත්වය නොලැබීම ඵලදායක ව්‍යාපෘති ප්‍රමාදයට සහ ඒවායේ ප්‍රතිලාභ ජනතාවට අහිමි වීමට මූලික හේතුව බව ‘ගම සමඟ පිළිසඳර’ ආරම්භයේ පටන් තමා අවබෝධ කරගත් බව ද ඒ මහතා කියා සිටී.නිලධාරීන්, ඒ ඒ ආයතන සහ ජනතා නියෝජිතයන් අතර කඹ ඇදීමෙන් ජනතාව පීඩාවට පත්ව සිටින බව පෙන්වා දෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේ දී වන ජීවි, වන සංරක්ෂණ, පරිසර, මාර්ග ඇතුළු සියලු ප්‍රධාන ආයතනවල වගකිවයුතු නිලධාරීන් සාමූහිකව තීරණවලට එළැඹීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ, කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පලීගම ග්‍රාම නිලධාරී වසමට අයත් නෙළුම්වැව ප්‍රජා ශාලා භූමියේ පැවති “ගම සමඟ පිළිසඳර” 11 වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ‍පෙන්වා දුන්‍‍නේ වන අලි ගම්වැදී සිදුකරන වගා සහ ජීවිත හානි ප්‍රදේශයේ ජනතාව මුහුණ පා සිටින බරපතළ හා දිගුකාලීන ප්‍රශ්නයක් බවත් මේ ගැටලුවට පැලැස්තර පිළියම් සොයන්නේ ‍නොමැතිව සැලසුම්සහගත දිගුකාලීන සහ ස්ථීරසාර විසඳුමක් දීමේ අවශ්‍යතාව පවතින බවත්ය.

දිගු කාලීන විසඳුම් ලෙස කැලෑ අභ්‍යන්තරයේ වැව් ඉදිකිරීම, වන අලින්ගේ ආහාරයට අවශ්‍ය ගහකොළ වගා කිරිම, විදුලි වැට සක්‍රීය කිරීම, අගල් කැපීම ඇතුළු ක්‍රියාමාර්ග කඩිනම් කළයුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − five =