පකිස්ථාන අගමැති හෙට දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –දෙදින නිල සංචාරයක් සඳහා පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හෙට (23) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

සිය සංචාරය අතරතුර පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙළඳ සහ ආයෝජන, සෞඛ්‍ය සහ අධ්‍යාපන, කෘෂිකාර්මික විද්‍යා හා තාක්ෂණ, ආරක්ෂාව, සංචාරක ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඔහු අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බව ද සඳහන් වේ.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මේ වසරේ සිය රටෙන් බැහැර නිරත වන මංගල නිල සංචාරයේ දී පාකිස්තානයේ ප්‍රධාන වශයෙන් රෙදිපිළි හා ඇඟලුම්, ඖෂධ, කෘෂි ආහාර වෙළඳ භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ, වාහන අමතර කොටස්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශල්‍ය උපකරණ යන අංශවල ව්‍යාපාරික නායකයින්ගෙන් සමන්විත ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන නියෝජිත කණ්ඩායමක් ද ඒ සමඟ එක්වෙයි.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍ය මක්දූම් ෂා මෙහමූඩ් කුරේෂි, වාණිජ කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක අබ්දුල් රසාක් ඩාවූඩ්, විදේශ කටයුතු ලේකම් සොහෙයිල් මෙහමූඩ් සහ පාකිස්තාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *