ශ්‍රී ලංකා පිලේ ප්‍රබලයන් 05ක් කොදෙව් සංචාරයෙන් ගලවා දමයි

(කොළඹ, ලංකාපුවත්) –බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් මෙතෙක් ඉදිරි පෙළ ක්‍රීඩකයන් ලෙස කටයුතු කළ කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, දිල්රුවන් පෙරේරා සහ භානුක රාජපක්ෂ ඉවත් කරයි.

මේ ක්‍රීඩකයන්ට පවතින ආබාධ තත්ත්වය හා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම වැනි කරුණු සැලකිල්ලට ගෙන මේ තීරණය ගෙන ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඇන්ටිගුවාහී පැවැත්වෙන එක්දින හා විස්සයි20 තරග වෙනුවෙන් ක්‍රීඩකයන් 20කගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා සංචිතය සූදානම් කොට ඇති අතර, ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩකයන් 18කගෙන් යුත් සංචිතයක් තෝරාගෙන ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තේය.

මේ කොදෙව් ක්‍රිකට් සංචාරයට වයස අවුරුදු 25ට අඩු ක්‍රීඩකයන් සියයට 75ක් පමණ එක් කිරීමට තේරීම් කමිටුව අවධානය යොමුව තිබීම විශේෂත්වයකි. නිමාවූ එල්පීඑල් තරගාවලියේදී දඹුල්ල වයිකින් පිලට ක්‍රීඩා කරමින් දස්කම් දැක්වූ 20 හැවිරිදි වමත් මඳවේග පන්දු යවන දිල්ෂාන් මධුශංක, ගාල්ල සාන්ත ඇලොසියස් විදුහලෙන් පිටියට පිවිසි 22 හැවිරිදි මැද පෙළ පිතිකරුවකු සහ වමත් දඟ පන්දු යවන්නකු වූ අෂේන් බණ්ඩාර, ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් පැමිණ ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 පිලේ තරග කිහිපයකට ක්‍රීඩා කළ 22 හැවිරිදි කමිඳු මෙන්ඩිස් හා කොළඹ ඉසිපතන විදුහලෙන් බිහි වී දැනට පළමු පෙළ තරගවලදී වැඩිම සාමාන්‍යයක් රඳවා සිටින 22 හැවිරිදි පැතුම් නිශ්ශංක කොදෙව් ක්‍රිකට් සංචාරයට තෝරාගත් නවකයන් අතර වෙති.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් පසු පළමු වරට එක්දින ක්‍රිකට් සංචිතයට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක අකිල ධනංජය ඇතුළත් කිරීමට ද පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන අතර, දිමුත් කරුණාරත්නට ටෙස්ට් හා එක්දින අංශ දෙකේම ඔටුන්න හිමිව ඇත. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක තිසර පෙරේරා කොදෙව් ක්‍රිකට් සංචාරයේ සාමාජිකයෙක් පමණි. කොරෝනා වයිරසය හේතුවෙන් ප්‍රතිකාරගත් ළහිරු තිරිමාන්න සහ ආබාධ වී සිටි ධනංජය ද සිල්වා ටෙස්ට් සංචිතයට ඇතුළත් කර ඇත. දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ප්‍රනාන්දු, දසුන් ශානක, රමේෂ් මෙන්ඩිස්, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර ද සංචිතයට ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා පිල මුලින්ම විස්සයි 20 තරග 3ක් ක්‍රීඩා කරන අතර, එම තරග මාර්තු 3, 5 සහ 7 යන දිනවල ඇන්ටිගුවාහී කූලිජ් ක්‍රිකට් පිටියේදී පැවැත්වේ. අනතුරුව එක්දින තරගාවලිය ඇන්ටිගුවා නෝර්ත් සවුන්ඩ් හී සර් විවියන් රිචර්ඩ් ක්‍රීඩාංගණයේදී මාර්තු 10, 12 සහ14 දිනවල පැවැත්වෙන අතර, ටෙස්ට් තරග දෙක මාර්තු 21 සහ මාර්තු 29 දිනවලදී ඇන්ටිගුවා ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

මේ ආකෘති තුනෙන්ම ක්‍රිකට් තරගාවලි සඳහා ශ්‍රී ලංකා පිල හෙට (23) කැරිබියානු දූපත් බලා පිටත්ව යනු ඇත. කොරෝනා තර්ජනය හේතුවෙන් ඇන්ටිගුවාහි ජෛව සුරක්ෂිත පරිසරය යටතේ කණ්ඩායම් දෙකම ක්‍රීඩා කරනු ඇත. ශ්‍රී ලංකාව පසුගිය මාස කිහිපයේදී දකුණු අප්‍රිකාවට හා එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගමාලා දරුණු ලෙස පරාජයට පත්වීමත් සමඟ මහත් ආන්දෝලනයක් ඇතිවී තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් මහතා ඉල්ලා අස් විය. එබැවින් මෙවර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරය පිළිබඳ බොහෝ දෙනකුගේ අවධානය ශ්‍රී ලංකා පිල වෙත යොමුව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *