පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා බැලු ජනාධිපති කොමිසමේ වාර්තාව කථානායකට

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන්, ඒ මහතාගේ නීති කටයුතු අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (23) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දෙන ලදී.

අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රියේ රැස් වූ අවස්ථාවේදී එම වාර්තාව ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, ඉන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස එතුමා විසින් උපදෙස් ලබා දෙන ලදී.

ඒ අනුව එම වාර්තාව නිල වශයෙන් කථානායකවරයාට භාරදීම අද පෙරවරුවේ කථානායක නිල කාමරයේදී සිදුවිය. එම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද සහභාගි විය.

මන්ත්‍රීවරයන්ට ලබාදීම සඳහා එම වාර්තාවේ පිටපත් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව වෙත එවන ලෙස කථානායකවරයා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේය.

එම පිටපත් ලැබීමෙන් පසු එම වාර්තාව ඉදිරියේදී සියළු මන්ත්‍රීවරයන්ට ලබාදීමට කටයුතු කරන බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *