ශ්‍රී ලංකා මහ බැංකුව ”රට පුරාම LANKAQR’’ වැඩසටහන සමඟින් ගාල්ලට

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලංකා මහ බැංකුව අනෙකුත් මූල්‍ය ආයතන සහ සන්නිවේදන ආයතන සම්බන්ධ කරගනිමින් ක‍්‍රියාත්මක කළ ”රට පුරාම LANKAQR’’ ජාතික වැඩසටහනේ තවත් අදියරක් ගාල්ල දිස්ත‍්‍රික්කයේ වෙළෙඳ මහතුන් කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන හැටන් නැෂනල් බැංකුව විසින් සංවිධානය කරන ලද අතර මෙරට ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතන හා සන්නිවේදන සහකරුවන් 21ක් මේ සඳහා සහභාගී වී සිටීම කැපී පෙනිණි.

ආරක්ෂිත හා කාර්යක්ෂම මුදල් රහිත ඩිජිටල් ගෙවීම් ක‍්‍රමවේදයක් ඇති කිරීමට දරණ උත්සාහය ඉදිරියට ගෙන යමින් හා රට පුරා ජංගම දුරකතන ගෙවීම් යෙදවුම් සහ ඩිජිටල් ගෙවීම් සඳහා පොදු ප‍්‍රමිතියක් ලෙස LANKAQR හඳුන්වා දීම අරමුණු කරගනිමින් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දුන් LANKAQR වැඩසටහනේ තුන්වන අදියර වන මෙම වැඩසටහන ගාල්ල මහේස්ත‍්‍රාත් චතුරශ‍්‍රයේදී HNB සත්කාරකත්වයෙන් පැවැත්වෙයි.

මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂ්මන් මහතා ‘‘වෙළෙඳ මහතුන් හා පාරිභෝගිකයින් වෙනුවන් අප පහසු හා ආරක්ෂිත ගෙවීමේ ආකෘතියක් සාර්ථකව හඳුන්වා දීමට අපට හැකි වුනා. පසුගිය වසරේ එය හඳුන්වා දුන් දින සිට LANKAQR වෙත සැලකිය යුතු පාරිභෝගික ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වීම පිළිබඳව අපට ඉතා සතුටුයි. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ ගෙවීම් විසඳුම් ඩිජිටල්කරණය කිරීම තුළින් ව්‍යාපාර කටයුතුවල අඛණ්ඩතාව සහතික කරන අතරම කොවිඞ්-19 වසංගතයෙන් ඇති කළ අභියෝග හමුවේ වුවද මූල්‍ය ක්ෂේත‍්‍රයේ පමණක් නොව ආර්ථිකයේද විශාල සංවර්ධනය ඇති කිරීමට සමත් වී තිබෙනවා.’’ යනුවෙන් පැවසුවේය.

‘‘ඒනිසාම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ පාරිභෝගිකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් මෙම තාක්ෂණය ඔවුන්ගේ එදිනෙදා වැඩකටයුතු සඳහා භාවිතා කිරීම පිළිබඳව අප සැබවින්ම සතුටු වනවා. මෙරට ගෙවීම් විසඳුම් ඩිජිටල්කරණය වීම අඛණ්ඩව පැවතුනහොත් මුදල් මුද්‍රණය කිරීම සඳහා අප වැය කරන මුදල සැලකියු යුතු ලෙස අඩු කර ගැනීමටත් වසංගතය විසින් ඇති කරන ලද අභියෝගවලට සාර්ථකව මුහුණ දීමටත් අපට හැකි වනු ඇත.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ශ්‍රී ලංකාවේ මුදල් රහිත ඩිජිටල් ගෙවීම්වලට නව ආදර්ශයක් ලෙස මෙම ක‍්‍රමවේදය ප‍්‍රවර්ධනය කිරීමට ගන්නා ප‍්‍රයත්නය ඉදිරියට ගෙන යාම සඳහා ඉහල පෙළේ අමුත්තන් කිහිප දෙනෙක්, ප‍්‍රමුඛ බැංකු හා මූල්‍ය ආයතන මෙම වැඩසටහනට සහභාගී වූ අතර නගරය හා ඒ අවට පිහිටි ප‍්‍රධාන වෙළෙඳ ආයතන ආවරණය වන පරිදි එම ප‍්‍රවර්ධන කටයුතු සිදු විය. මෙම උත්සවයට සමගාමීව ගාල්ලේ වෙළෙඳ මහතුන් කිහිප දෙනෙකුට ගනුදෙනු කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් LANKAQR කේතය පිරිනමන ලදී.

LANKAQR යනු ශ‍්‍රී ලංකා මහ බැංකුව, බලපත‍්‍රලාභී මූල්‍ය ආයතන සහ ලංකාක්ලියර් පුද්ගලික සමාගම සමග එක්ව හඳුන්වා දුන් ක්ෂණික ප‍්‍රතිචාර (QR) කේත ප‍්‍රමිතියක් වන අතර වෙළෙඳ මහතුන්ට අනෙක් ඩිජිටල් වේදිකා සඳහා විවිධ QR කේත භාවිතා කිරීම තවදුරටත් අවශ්‍ය නොවනු ඇත. පරිශීලකයින්ට LANKAQR හා සම්බන්ධ ඕනෑම ඩිජිටල් ගෙවීමේ යෙදවුමක් භාවිතා කර QR කේතය ස්කෑන් කිරීමෙන් LANKAQR හරහා ගෙවීම් සිදු කළ හැකි අතර ගෙවීම් ලැබීම තහවුරු කිරීම සඳහා වෙළෙඳ මහතුන්ට ක්ෂණික කෙටි පණිවිඩයක් ලැබෙනු ඇත.

පසුගිය වසරේ මෙම වැඩසටහන දියත් කළ දින සිට දිවයින පුරා සිටින වෙළෙඳ මහතුන් 160,000ක් LANKAQR භාවිතා කර ඇති අතර කාඞ්පත් ගනුදෙනු සිදු කරන ක්ෂේත‍්‍රය සමඟ සැසඳීමේදී මෙය වේගවත් විකල්පයක් ලෙස පෙන්වා දිය හැකිය.

LANKAQR මගින් ඕනෑම වෙළෙන්දෙකුට හෝ සේවා සපයන්නෙකුට, ඔවුන්ගේ ඩිජිටල් ගෙවීමේ යෙදවුම් හා වේදිකා හරහා වේගවත්, ආරක්ෂිත හා අඩු වියදම් ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීමට බැංකු, මූල්‍ය ආයතන හා සන්නිවේදන ආයතනවලට අවස්ථාව ලබා දෙයි. එමෙන්ම LANKAQR සහිත ඕනෑම ජංගම ගෙවීම් යෙදවුමක් හරහා පාරිභෝගිකයින්ට කෑම බීම වර්ගවල සිට සෞඛ්‍ය සේවා හා මාර්ග දෙපස වෙළඳාම් කරන වෙළෙඳුන්ගෙන් මිලදී ගනු ලබන භාණ්ඩ ආදී සියලූම අවශ්‍යතා සෘජුවම ඔවුන්ගේ බැංකු ගිණුමේ සිට ගෙවීම් කිරීමේ පහසුව එමගින් සලසා දී ඇත.

HNB විසින් සංවිධානය කළ මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂ්මන් මහතා සහ ප‍්‍රධාන අමුත්තා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගරු චන්දිම වීරක්කොඩි මහතා සහභාගී විය. මීට අමතරව, දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති, රොහාන් සිල්වා, LANKAQR වැඩසටහන සඳහා CBSL විසින් නම් කළ කමිටුවේ සභාපති හා SDB බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී, තිලක් පියදිගම, මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධර්මසිරි කුමාරතුංග යන මහත්වරුන් සමඟ HNB කළමනාකාර අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී, ජොනතන් අලස් සහ HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න යන මහත්වරුන් ඇතුළු බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙයට සහභාගී විය.

මෙරට බොහෝ මූල්‍ය ආයතන LANKAQR භාවිතා කිරීම තුළින් සම්පූර්ණයෙන් ඩිජිටල් ගෙවීම් මත පදනම් වූ අනාගතයක් ශ්‍රී ලාංකිකයින් වැළඳගනිමින් සිටින බවක් දක්නට ඇති අතර අනාගතයේදී ඩිජිටල් ගෙවීම් යෙදවුම් හා මුදල් රහිත ගෙවීම් කඩිනමින් රට පුරා ව්‍යාප්ත කිරීම සඳහා එමගින් ශක්තිමත් අඩිතාලමක් ද දමා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *