රජය සහන ලබාදී තිබියදීත් සංචාරක හෝටල්වල විදුලිය විසන්ධි කිරීම පිළිබද පැමිණිලි

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක හෝටල් සදහා රජය විදුලි ගාස්තු සහනයක් ලබා දී තිබුනද විදුලිය විසංදී කිරීමට විදුලි බල මණ්ඩලයේ ඇතැම් ප්‍රාදේශීය කාර්යාල කටයුතු කරන බවට පැමිණිලි ලැබී ඇති බැවින් එම විදුලිය විසන්ධි කිරීම් අත්හිටුවන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විෂය භාර ඇමතිවරයාගෙන් ඉල්ලයි.

විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා වෙත ඇමතිවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක සංවර්ධණ අධිකාරියේ ලියාපදිංචි හෝටල් සදහා ජල හා විදුලි ගාස්තු සහන ලබාදීමට පසුගිය වසරේ මැයි මස 29 වනදා ඇමති මණ්ඩල සංදේශයක් මගින් අනුමැතිය හිමිව තිබුණි. එමගින් තීරණය කර තිබුනේ කොවිඩ් වසංගතය පැවති කාලය තුල විදුලිය බිල් පත් ගෙවීම වසර කාලයකට අත් හිටුවා ඒ සදහා සහන කාලයක් ලබා දීමටයි. පසුව එය නැවත තවත් මාස 06 ක කාලයක් සදහා දීර්ඝ කෙරිණි.

එය තවදුරටත් දීර්ඝ කිරීම පිළිබදව රජයේ අවධානය මේ වන විට යොමුව ඇතැයි පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා එලෙස තිබියදී ඇතැම් ප්‍රදේශ වල විදුලි බල මණ්ඩලයේ ප්‍රාදේශිය කාර්යාල මගින් එම හෝටල් වල විදුලිය විසංධි කිරීමට කටයුතු කරන බවද පැමිණිලි රැසක් තමන්ට ලැබී ඇතැයි ද සදහන් කරයි.

මේ නිසා තමන් මෙම ඉල්ලීම කළ බවත් ඒ සදහා විෂය භාර අමාත්‍ය වරයාගේ සහ සභාපතිවරයාගේ යහපත් ප්‍රතිචාර හිමිවූ බවත් ඔහු පෙන්වා දෙයි.

මීට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් පරිදි ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සූර්ය බළශක්තිය සපයා ගැනීම සදහා වූ වැඩසහටන හෝටල් ක්ෂේත්‍රයටද ලබාදීමට කටයුතු යොදා තිබේ එමගින් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු අයට සහන සැලසෙන බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *