ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රත්නපුර දිස්ත්‍රික්කයට කොන්ක්‍රීට් විකට් 10 ක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ක්‍රිකට් ගමට’ වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි කොන්ක්‍රීට් පුහුණු විකට් 10 ක් ලබා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු සාමාජික සහ රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති ගිහාන් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකරනු ලැබීය.

ඇඹිලිපිටිය, ගොඩකවෙල, රත්නපුර සහ කලවාන, උඩවලව, බලංගොඩ සහ ඕපනායක යන ප්‍රදේශ ආවරණය කරමින් මෙම කොන්ක්‍රීට් විකට් ලබා දීම සිදුවිය.

දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයට ලබා දෙන ලද ප්‍රතිපාදන යටතේ මෙම පුහුණු විකට් ලබා දීම සිදුකෙරුණු අතර ඒ සඳහා රත්නපුර දිස්ත්‍රික් සංගමයේ හිටපු සභාපති ගිහාන් වීරසිංහ මහතාට අමතරව එම සංගමයේ ලේකම් එරංග ප්‍රසාද් ඇතුළු නිලධාරී මණ්ඩලය සහ පළාත් දිස්ත්‍රික් පුහුණුකරු යුගලද සහභාගිවූහ.

ඇඹිලිපිටිය ඩී. බෝධිරාජ විදුහලේ පැවැති පුහුණු විකට් විවෘත කිරීම සඳහා එම පාසලේ අනුශාසක ලෙසින් කටයුතු කරනු ලබන පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියෝද සහභාගිවූහ. එහිදී අදහස් දැක්වූ මේධානන්ද හිමියෝ මෙම පුහුණු විකට් ලබාදීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයට සිය ප්‍රශංසාව පළ කළහ.

කොන්ක්‍රීට් විකට් ලබා දුන් ක්‍රීඩා සමාජ සහ පාසල් – 1. ඩී. බෝධිරාජ විද්‍යාලය-ඇඹිලිපිටිය, 2. රාජකීය විද්‍යාලය-ඇඹිලිපිටිය, 3. මහවැලි ක්‍රීඩාංගණය-ඇඹිලිපිටිය, 4. උඩවලව මහා විද්‍යාලය-උඩවලව, 5. කුඹුරුගමුව ක්‍රිකට් සමාජය-ගොඩකවෙල, 6. කුලරත්න මැදි මහ විදුහල-ගොඩකවෙල, 7. චැලෙන්ජර්ස් ක්‍රීඩා සමාජය-ඕපනායක, 8. කලවාන ජාතික පාසල්-කලවාන, 9. බටුගෙදර විද්‍යාරාජ විද්‍යාලය, 10. විද්‍යාලෝක මැදි මහ විදුහල-බලංගොඩ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *