සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීමට මිලියන 10,000ක මුදලක්

(කොළඹ, ලංකාපුවත්) –සමෘද්ධිලාභීන් ආදායම් ලාභීන් බවට පත්කිරීම සදහා වන වැඩපිළිවෙල යටතේ රු මිලියන 10,000ක මුදලක් සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීම සදහා මේවන විට වෙන්කොට ඇති බව සමෘද්ධි,ගෘහ ආර්ථික,ක්ෂුද්‍ර මූල්‍ය , ස්වයංරැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ ( 09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේ පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදී මෙම මුදල වෙන්කොට ඇති බවයි.

එසේම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සමෘද්ධි නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප ඇතුළු රාජ්‍ය සේවයේ අයිතිවාසිකම් ඔවුනට ලබා දීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා විසින් ඉහත ගැටලුවලට විසදුම් ලබාදීමේ ප්‍රගතිය විමසා සිටි අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් මේබව පවසා සිටියේය.

සමෘද්ධි අධිකාරිය දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේදී නිලධාරීන් සේවක අර්ථසාධක අරමුදල් කොටසක් හෝ සම්පූර්ණ වශයෙන් ඉල්ලා ඇති බැවින් ඒ සම්බන්ධව ඉදිරි තීරණ ගැනීම සදහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද මෙහිදී මුදල් අමාත්‍යංශ සහ භාණ්ඩාගාර ලේකම් එස් .ආර්. ආටිගල මහතා අනාවරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මෙහිදී පෙන්වා දුන්නේ සමෘද්ධි දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේදී නව සේවකයන්ගේ වැටුප් අඩු නොකරන බවට එවකට සහතික වුවද පසුගිය රජය මගින් වැටුප් අඩු කිරීමට කටයුතු කර ඇති බවයි.තවද දෙපාර්තමේන්තුවක් බවට පත්වීමේදී සේවකයන්ගේ උසස් වීම්වල පවතින ගැටලු විසදීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡාවිය.ඒඅනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් කඩිනම්න් විසදීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

තවද සමෘද්ධි නිලධාරීන්ට මැතිවරණ සදහා මුහුණ දීමට අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.එහිදී ගරු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ එය වඩාත් විධිමත් ක්‍රමවේදයකට අනුව පමණක් සිදුවිය වියයුතු බවයි.

එසේම සමෘද්ධි ලාභීන්ගේ සංඛ්‍යාව තවදුරටත් වැඩි නොකර ඔවුන් සවිබල ගැන්වීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡාවු අතර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ කි‍සිසේත්ම දැනට සිටින සමෘද්ධිලාභීන් සංඛ්‍යාව වැඩිනොකරන බවත් කිසිදු ආකාරයකට දේශපාලන මැදිහත්වීමෙන් තොරව මනා විනිවිද බවකින් සමෘද්ධි සහනාධාරය ලබා දීමට කටයුතු කරන බවත්ය.

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ,පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් , හර්ෂද සිල්වා , ජගත් කුමාර ,මහාචාර්ය රංජිත් බණ්ඩාර , සුදත් මංජුල ,සහන් ප්‍රදීප් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් නියෝජනය කරමින් ,මුදල් අමාත්‍යාංශ සහ භාණ්ඩාගාරික ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *