WSO2 හි ගෝලීය පාරිභෝගික ගොනුවේ සහ ආදායමේ කැපීපෙනෙන වර්ධනයක්

(කොළඹ, ලංකාපුවත්) – ඩිජිටල් පරිවර්තන තාක්ෂණයේ පෙරමුණ ගෙන සිටින WSO2 මෘදුකාංග සමාගම 2020 වර්ෂයේදී පමණක් නව ව්‍යාපාර ආයතන 139ක් තම පාරිභෝගික ගොනුවට එක් කරගත් බව පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව මේ වනවිට 550කට අධික වූ ලොව ප්‍රධාන පෙළේ ව්‍යාපාර ආයතන, විශ්ව විද්‍යාල මෙන්ම රජයන් ද සිය ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘති සඳහා WSO2 හි මෘදුකාංග සහ විසඳුම් යොදාගනියි. ඒ වාර්ෂිකව ගනුදෙනු ට්‍රිලියන 6.2ක් සමඟිනි.

ඉකුත් වසරේදී වාර්ෂික පුනරාවර්තන ආදායමේ ද්වී-ඉලක්කම් වර්ධන වේගයක් අත්පත් කරගැනීමටත්, ලොව පුරා තම සේවක සංඛ්‍යාව 700 ඉක්මවා යමින් වර්ධනය කරගැනීමටත් WSO2 සමාගමට හැකිවිය. එමෙන්ම ගෝලීය වශයෙන් නව හවුල්කරුවන් 63ක් ද, ඊට අමතරව OEM හවුල්කරුවන් ආශ්‍රිතව 80%ක වර්ධනයක් ලබාගැනීමට ද සමාගමට හැකිවීම කැපීපෙනේ.

WSO2 විසඳුම් සඳහා ඉල්ලුමේ වර්ධනයක්

ගෝලීය වසංගත තත්ත්වය හමුවේ වුව ද අඛණ්ඩව වර්ධනයක් වාර්තා කිරීමට WSO2 සමාගමට හැකිව තිබේ. වසංගතය හේතුවෙන් ඇතැම් සමාගම් තම වැය ශීර්ෂ කපා දැමීමට පෙළඹී සිටියද, බොහෝ සමාගම් මෙම කාලය තම ඩිජිටල්කරණ ක්‍රියාකාරකම් වේගවත් කිරීමට යොදාගනු දක්නට ලැබුණි. මාර්ගගත සන්නිවේදන උපක්‍රම, සහයෝගීතා සහ වාණිජ කටයුතුවලට එහිදී ප්රමුඛ තැනක් හිමිවිය. තව ද පවතින වාතාවරණය මත එවැනි ඇතැම් ඩිජිටල්කරණ ව්‍යාපෘතිවල කාල රාමු, වසර කිහිපයක සිට මාස කිහිපයක් දක්වා අඩු කිරීමට පවා ක්‍රියාකර තිබේ. එම පසුබිම මත, API Management, Integration, සහ Customer Identity And Access Management (CIAM) වැනි සේවාවන් සඳහා WSO2 සමාගමට ලැබුණේ දැවැන්ත ඉල්ලුමකි. ඒ ඒ ව්‍යාපාරවලට සුදුසු ඩිජිටල් සේවා සහ යෙදවුම් සම්පාදනයට WSO2 මෘදුකාංග සහ විසඳුම් යොදාගැනීමට ඇති හැකියාව ඊට ප්‍රධාන හේතුවක් විය.

2020 වර්ෂයේදී WSO2 සමාගම මගින් WSO2 Banking, Financial Services & Insurance (BFSI) සහ WSO2 Healthcare නමින් ද නවතම තාක්ෂණ දෙකක් හඳුන්වා දුනි. ඒ ඒ පාරිභෝගිකයින්ට ගැලපෙන විසඳුම් ලබාදීමට අමතරව WSO2 Open Banking සහ WSO2 Open Healthcare නම් වන පෙරනිමි විසඳුම් ද සමාගම විසින් සපයයි.
මීළඟ වර්ධන අවධිය සඳහා ව්‍යාපාරය පුළුල් කිරීම

2020 වසරේදී WSO2 සමාගම, තම කාර්ය මණ්ඩලය හා සහකරුවන් ජාලය ප්‍රසාරණය කිරීම සඳහා ද සැළකිය යුතු ආයෝජනයක් සිදුකළේය. සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරිවරයා ලෙස එරික් නිව්කමර් මහතා පත්වූ අතර, සමාගමේ තාක්ෂණික දැක්ම සංවර්ධනය කරමින් අනාගතවාදී WSO2 තාක්ෂණ විසඳුම් සඳහා නායකත්වය ලබාදීම ඔහු සතු වගකීම වේ.

තව ද දේවක රන්දෙණිය මහතා ප්‍රධාන ආදායම් නිලධාරීවරයා ද, පද්මිකා දිසානායක මහත්මිය ප්‍රධාන මූල්‍ය නිලධාරීවරියද, ගීතික කුරේ මහතා උප සභාපති හා Identity and Access Management (IAM) අංශ ප්‍රධානියා ද, ආචාර්ය සේනක ප්‍රනාන්දු මහතා ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ හා ඩිජිටල් පරිවර්තන අංශ ප්‍රධානියාද, රිකාඩෝ ඩිනිස් මහතා උප සභාපති සහ එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ඉතාලිය හා පෘතුගාලය යන රටවල සාමාන්‍යාධිකාරීවරයා ද, පර්නාන්දෝ ආර්දිති මහතා උප සභාපති සහ ලතින් අමෙරිකානු කලාපයේ සාමාන්‍යාධිකාරීවරයා ද වශයෙන් නව පත්වීම් ලදහ.
“නොසිතූ විරූ වසංගත කාලසමයකදී වුවත් යළි නැඟීසිටීමට අපට හැකිවුණා. කෙසේ නමුත් දිගින් දිගටම අපගේ පාරිභෝගිකයින්ගේ ඩිජිටල් නවෝත්පාදනය හේතුවෙන් ව්‍යාපාර අඛණ්ඩතාව පවත්වාගැනීමට වගේම නව අවස්ථාවන් උදාකරගැනීමටත් හැකිවුණා”, යනුවෙන් WSO2 නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සංජීව වීරවරණ මහතා පැවසීය.

“පාරිභෝගිකයින්ගේ සාර්ථකත්වය තහවුරු කිරීමට කැපවී සිටින මගේ කාර්ය මණ්ඩලයත්, සහකරුවන් ජාලයත් පිළිබඳව මම බෙහෙවින් ආඩම්බරයට පත්වෙනවා. අනාගත ලෝකයට වැඩදායී API පෙරටු කරගත් සුරක්ෂිත ඩිජිටල් සේවා සම්පාදනය සඳහා 2021 වසරේ අපි එක්ව කටයුතු කරන ආකාරය පිළිබඳවත් මම ඉතාමත් උනන්දුවෙන් බලා සිටිනවා”, ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *