Road Safety ලෝක ශූරතාවය ඉන්දීය ලෙජන්ඩ්ස් පිල හිමි කරගනී

(කොළඹ, ලංකාපුවත්) –මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව ඉන්දියාවේ මහාරාස්ට්‍ර ප්‍රාන්තයේ සංවිධාන කරනු ලැබූ ‘රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස්’ විස්සයි20 අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ලකුණු 14කින් පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් පිල සමත් විය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලේ නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ලෙජන්ඩ්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු 181 හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල කරට කර සටනක් දුන් අතර, ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 167ක් රැස් කළේය.

ජයග්‍රහණය හඹා යෑමට පිටියට පිවිසි නායක ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය පළමු කඩුල්ලට ලකුණු 62ක සම්බන්ධතාවක් ගොඩ නැගුවේ ඕවර 7.2කදීය. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා මෙන්ම වැඩිම කඩුලුලාභියා ද වන ඩිල්ෂාන් ලකුණු 21ක් ලබා සිටියදී දැවී ගිය අතර, ජයසූරිය පන්දු 35කදී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමග ලකුණු 43ක් රැස් කිරීමට සමත් විය. මේ දෙදෙනාම දැවී ගියේ යූසුෆ් පතාන්ගේ පන්දු හමුවේය.

මුළු ලකුණු සංඛ්‍යාව 91දී උපුල් තරංග ලකුණු 13කට දැවී ගියේ ඉර්ෆාන් පතාන්ගේ පන්දුවකටය. අවසන් ඕවර කිහිපයේදී තරගයට යම්කිසි ජීවයක් කැවූ මැදපෙළ පිතිකරුවන් වන චින්තක ජයසිංහ සහ කෞෂල්‍ය වීරරත්න මුළු ලකුණු සංඛ්‍යාව 155 දක්වා ඉහළ නැංවූයේ පස්වැනි කඩුල්ලට ලකුණු 64ක සම්බන්ධතාවක් ද ගොඩ නගමිනි. කෞශල්‍ය වීරරත්න පන්දු 15කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමග ලකුණු 38ක් රැස් කිරීම කැපී පෙනිණි.

මුනාෆ් පටේල් විසින් යවනු ලැබූ අවසන් ඕවරයේදී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට ලකුණු 24ක් අවශ්‍යව තිබිණි. චින්තක ජයසිංහ එම ඕවරයේ පස්වැනි පන්දුවෙන් දුවද්දී දැවී යෑමට හසුවන විට පන්දු 30කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමග ලකුණු 40ක් ලබා සිටියේය.

සචින් තෙන්ඩුල්කර් මෙහෙයවූ ඉන්දීය ලෙජන්ඩ්ස් පිලේ ඉනිම ඉහළට ඔසවා තැබූ යුව්රාජ් සිං සහ යූසුෆ් පතාන් සිවුවැනි කඩුල්ලට ලකුණු 85ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත් වූහ. පන්දු 41කට මුහුණ දුන් යුව්රාජ් සිං හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමග ලකුණු 60ක් රැස් කළ අතර, පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමග නොදැවී ලකුණු 62ක් රැස් කිරීමට යූසුෆ් පතාන් සමත් විය. ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ සචින් තෙන්ඩුල්කර් පන්දු 23කදී හතරේ පහර 5ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 30කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *