වැලිකඩ සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – වැලිකඩ, රාජගිරිය ප්‍රදේශයේ දී අද (23) උදෑසන සිදුවූ රිය අනතුරකින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකයෙක් සහ තවත් අයෙක් මරුමුවට පත්වූ බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

රාජගිරිය, ආයුර්වේද වටරවුම සහ ගුවන් පාළම ආසන්නයේ පොලිස් මාර්ග බාධකයක සිටි නිලධාරීන් පිරිසක් අධික වේගයෙන් පැමිණි වෑන් රථයක ගැටී ඇත.

ඉන් එක් නිලධාරියෙක් මරණයට පත්ව තිබේ. එලෙස මරණයට පත්ව ඇත්තේ එම කණ්ඩායම භාරව සිටි 52 හැවිරිදි උප පොලිස් පරීක්ෂකයෙකි.

එසේම ඔවුන් විසින් එම අවස්ථාවේ පරීක්ෂා කරමින් සිටි වෙනත් කුඩා ලොරි රථයක සහායකවරයා ද අධික වේගයෙන් පැමිණි වෑන් රථයේ ගැටී තිබේ. ඉන් ඔහු ද එම අනතුරින් මරණයට පත්වී ඇත.

වෑන් රථයේ රියැදුරාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු තලවතුගොඩ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *