රජයේ සියලුම පාසල් ආරම්භ කිරීම සම්බන්ධව විශේෂ චක්‍රලේඛයක්

(කොළඹ, ලංකාපුවත්) –2021 වර්ෂය සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි මාර්තු 29 වන දින ආරම්භ කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත්කර තිබේ.

අදාළ චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපති හිමිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත නිකුත්කර ඇත.

ඒ අනුව මෙතෙක් ආරම්භ නොකළ ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ සියලුම පාසල් මාර්තු 29වන දින ආරම්භ කෙරෙන අතර යම් ප්‍රදේශයක් හුදකලා කළ හොත් අදාළ කාල සීමාව ඉකුත් වන තෙක් එම ප්‍රදේශයේ පාසල් පමණක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළයුතු බව සඳහන්කොට තිබේ.

සෞඛ්‍යාරක්ෂිත ස්ථානයක් ලෙස, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා පාසල් සූදානම් කිරීම හෙට (26) දින සිට 28 වනදා දක්වා දින 03ක් වෙන්කොට තිබේ.

නැවත පාසල් පරිසරයට දරුවන් අනුගතකර ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ඔප්නැංවීමට සුදුසු ක්‍රියාකාරකම් කිරීමට මූලිකත්වය ලබාදෙමින් පාසල ආරම්භ කළ වහාම විභාග කටයුතු සහ තරඟ සඳහා දරුවන් යොමු කිරීමට යෝග්‍ය නොවන බවද වැඩිදුරටත් අවධාරණය කොට තිබේ.

එමෙන්ම පුද්ගල දූරස්ථභාවය ආරක්ෂා වන සේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සටහනක් ද ඇතුළත්කොට තිබේ.

ඒ අනුව සිසුන් 15ක් දක්වා සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය යුතු වේ. සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතු වේ.

සිසුන් 30ට වැඩියෙන් සිටින පන්ති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පන්ති පැවැත්විය යුතුය.

අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල පාසලට කැඳවීම සම්බන්ධයෙන් එම චක්‍රලේඛයට අනුව ශිෂ්‍ය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නැවත යථා පරිදි ආරම්භ වන බැවින් ඔවුන් සියලු දෙනා සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළයුතු බව සඳහන් ය.

ඒ අනුව සමස්ත දිවයිනේම පළමු වාරය සඳහා පාසල් අධ්‍යයන කටයුතු අවසන් කෙරෙනුයේ 2021/04/09 වන දින වන අතර දෙවන වාරය සඳහා නැවත ආරම්භ කිරීම 2021/04/19වන දින සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − 7 =