අත්අඩංගුවට පත් ධීවරයින් ගැන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) –ඊයේ (24) ඉන්දීය ධීවරයින් 54 දෙනෙකු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී නාවික හමුදා අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගන්නා ඉන්දීය ධීවරයින් සම්බන්ධයෙන් මානුෂීය මුහුණුවරකින් ක්‍රියා කරන ලෙස එමගින් ඉල්ලා ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහත සදහන් වේ,

2021 මාර්තු 24 වන දින රාත්‍රියේදී ඉන්දීය ධීවරයන් 54 දෙනෙකු සහ බෝට්ටු 5ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දී ඇත. ඉන්දීය ධීවරයන්ට අදාළ ගැටළු සම්බන්ධයෙන් මානුෂීය ආකාරයකින් කටයුතු කළ යුතු බව අපි අවධාරණය කරමු.

අත්අඩංගුවට ගත් ධීවරයන්ට කොන්සියුලර් සේවා සහ අවශ්‍ය අනෙකුත් දෑ කඩිනමින් සැපයීම ඉතා වැදගත් වේ. මෙම ධීවරයන්ට ඉක්මනින් කොන්සියුලර් සේවා ලබාදීම සඳහා අපි ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කරමින් සිටින්නෙමු.

ධීවර ගැටළුවට අදාළ සියලු කරුණු පුළුල්ව ආමන්ත්‍රණය කිරීම සඳහා ද්විපාර්ශවික යාන්ත්‍රණයන් ස්ථාපිත කර ඇත. ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ ලේකම් මට්ටමේ සිව්වන රැස්වීම අන්තර්ජාලය ඔස්සේ 2020 දෙසැම්බර් 30 වන දින පැවැත්විණ. එම රැස්වීමේ සාකච්ඡාවන් මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *