ඇන්කර් ජාතික මට්ටමින් ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතදීමට ක්‍රීඩා අමාත්‍යාංශය සමග එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ක්‍රීඩාවේදී සාර්ථක වීම සඳහා නිසි පෝෂණයක් ලැබීමේ වැදගත්කම අවධාරණය කරමින්, ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේහැකියාව සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි පෝෂණය ලබාදීමේ උත්සාහය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සමග අත්වැල් බැඳගැනීමට ඇන්කර් පසුගියදා කටයුතු කළේ ය.

මෙම හවුල්කාරීත්වය, ජාතික ක්‍රීඩා කවුන්සිලය සමග එක්වී ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද, ඉහළ දක්ෂතා පෙන්නුම් කරන සහ අනාගතයේදී පදක්කම් දිනාගැනීමේ හැකියාව සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංවර්ධනය කිරීමේ වැඩසටහනට අදාළ දීර්ඝකාලීන, ඉදිරිගාමී ප්‍රවේශයට ශක්තියක් වනු ඇත. මෙම වැඩසටහන යටතේ ප්‍රථම වරට, කිසිදු භේදයකින් තොරව ජාතික මට්ටමේ පළමු පෙළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනෙකු සමග වෘත්තීය මට්ටමේ ගිවිසුම් අත්සන් කර ඇති අතර, ඔලිම්පික් තරගාවලිය, පැරාලිම්පික් තරගාවලිය,පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ ආසියානු ක්‍රීඩා තරගාවලිය වැනි තරගාවලි වලදී ජයග්‍රහණය ලැබීමට හැකිවන පරිදි ඔවුන්ට පුහුණුව හා පහසුකම් ලබාදීමට සැලසුම් කර තිබේ.

අදාළ වැඩසටහන තුළදී මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණය හා යහපැවැත්ම වෙනුවෙන් පෝෂ්‍යදායක ආහාරපාන කට්ටල ලබාදීමට ඇන්කර් විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත සිය දායකත්වය ලබාදෙනු ඇත.

මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසී ය. “රටේ විවිධාකාර වූ ක්‍රීඩාවන් දිරිමත් කරමින්, දක්ෂතා සපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි වැඩියෙන් නිර්මාණය කිරීමට අප පියවර ගත යුතුයි. රටේ විවිධ ක්‍රීඩා හා විවිධ පළාත් ආවරණය කරමින්, අනාගතයේදී පදක්කම් දිනාගැනීමේ හැකියාව ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එම හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබෙනවා.
“මෙම වැඩසටහන සමග සම්බන්ධ වී සිටින සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි පෝෂණයක් ලැබෙන බව තහවුරු කිරීම සඳහා අප සමග අත්වැල් බැඳගැනීම වෙනුවෙන් ඇන්කර් සන්නාමයට සහ ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගමට ස්තූතිය පළකිරීමට මා කැමතියි. මෙය එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේ දක්ෂතා දැක්වීම සඳහා ශක්තියක් වේවි.”

ෆොන්ටෙරා සමාගමේ ශ්‍රී ලංකාව සහ ඉන්දියානු අර්ධද්වීපය සඳහා කළමනාකාර අධ්‍යක්ෂිකා විද්‍යා සිවරාජා මහත්මිය අදහස් දැක්වූයේ මෙසේ ය. “ජාතික මෙහෙවරක් වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ආරම්භ කරන ලද මෙම දූරදර්ශී, ඓතිහාසික වැඩසටහන හා සම්බන්ධ වීමට අවස්ථාව ලබාදීම පිළිබඳව අප තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ට අපගේ කෘතඥතාව පළකර සිටිනවා.

“රටේ දක්ෂතා සපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එම දක්ෂතා තවදුරටත් වර්ධනය කරවීමේ මෙහෙවරෙහි වැදගත් අංගයක් වශයෙන් ඔවුන්ට නිසි පෝෂණය ලබාගැනීමට අත්වැලක් වීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කිරීම අපගේ බලාපොරොත්තුවයි. ශ්‍රී ලංකාව යනු දක්ෂයන් බහුලව සිටින රටක්.එබඳු දක්ෂයන් පිරිසක් ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි වලට සහභාගී වී රටට කීර්තියක් රැගෙන ඒමට සැරසෙමින් සිටින මේ මොහොතේ, එම උත්සාහය වෙනුවෙන් අපගේ දායකත්වය ලබාදීමට හැකිවීම අපට මහත් සතුටක්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *