නීතිය විෂයක් ලෙස පාසල් විෂයට ඇතුළත් කිරීමේ ක්‍රමවේදය මාස දෙකක් ඇතුළත

(කොළඹ, ලංකාපුවත්) – නීතිය විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සඳහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පත් කළ පාර්ලිමේන්තු අනුකාරක සභාව මාස දෙකක් ඇතුළත සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

එම අනුකාරක සභාව මෙම තීරණය ගනු ලැබුවේ එහි පළමු රැස්වීම පාර්ලිමේන්තුවේ දී පැවැත් වූ අවස්ථාවේදීය .එහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ,විවෘත විශ්ව විද්‍යාලයීය සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා එහි සභාපති ධුරයට පත්කර ගන්නා ලදි.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය ඒකාබද්ධව පැවති උපදේශක සභාවේ දී නීතිය විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සඳහා උචිත ක්‍රමවේදයක් සැකසීමට මෙම අනුකාරක සභාව පත් කරන ලදී.ඒ අනුව පැවති පළමු රැස්වීමේදී අනුකාරක සභාවේ රැස්වීම් ජනමාධය ට විවෘත කිරීමෙන් වාර්තාව සඳහා මහජන අදහස් ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීමටත් තීරණය විය.

එමෙන්ම, මෙම අනුකාරක සභාවට සහාය වීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය ,අධිකරණ අමාත්‍යාංශය සහ රජයේ නීතිඥ සංගමය යන ආයතනවලින් සැදුම්ලත් තාක්ෂණික කමිටුවක් පත්කිරීමට ද තීරණය විය.

එමෙන්ම, නීතිය සම්පූර්ණයෙන් එක් විෂයක් ලෙස විෂය මාලාවට ඇතුළත් කළ හැකි වන පරිදි ක්‍රමවේදය ගොඩනැගීමටත් තීරණය කළ අනුකාරක සභාව නීතිය පාසලේදී ඉගැන්වීමට වෙනත් රටවල් අනුගමනය කර ඇති ක්‍රමවේදයන් පිළිබඳව අධ්‍යයනයක යෙදීමටත් තීරණය කළේය .

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්,එස්.ශ්‍රීධරන්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම්, අමරකීර්ති අතුකෝරළ, ඩයනා ගමගේ, මේජර් සුදර්ශන දෙනිපිටිය යන මහත්වරුන් යන සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ අධිකරණ අමාත්‍යංශවලත්, රජයේ නීතිඥ සංගමයේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීහුද ඊට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *