විද්‍යාලංකාර පිරිවෙනෙහි පර්යේෂණ කටයුතු සදහා ඉන්දීයාවේ සහයෝගය

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊයේ (25) පෑලියාගඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි සංචාරයක නිරත විය.

1875 වර්ෂයේදී ස්ථාපනය කරන ලද මෙම පිරිවෙන ලොව පුමුඛතම බෞද්ධ පිරිවෙනකි. සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ හිඳින ධාතු මන්දිරය වැඳ පුදා ගත් මහ කොමසාරිස්තුමා විද්‍යාලංකාර පිරිවෙනෙහි පරිවේනාධිපති සහ කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්ම නායක හිමිපාණන් වහන්සේට වැඳ නමස්කාර කර උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තේය. ඉන්දියාවට පත් කර සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ද මෙම සංචාරයට එක් විය.

විද්‍යාලංකාර පිරිවෙනෙහි අධ්‍යක්ෂ පූජ්‍ය වැලමිටියාවේ ඥානරතන හිමි මෙහිදී විද්‍යාලංකාර පිරිවෙන සහ ඉන්දියාව අතර තිබෙන සමීප සබඳතාවය සිහිපත් කළේය. ඉන්දියාවේ ප්‍රථම ජනාධිපති ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් මහතා 1956 වසරේ ජූනි මාසයේදී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය එස්. රාධක්‍රිෂණන් මහතා 1944 වර්ෂයේදී බරණාස් හි හින්දු විශ්ව විද්‍යාලයේ උපකුලපති වශයෙන් විද්‍යාලංකාර පිරිවෙනට පැමිණ තිබේ. මෙම පිරිවෙනට පැමිණ තිබෙන අනෙකුත් සම්භාවනීය ඉන්දීය ජාතිකයන් අතර ජවහර්ලාල් නේරු තුමා, ගුරුදේව් රවින්ද්‍රනාත් තාගෝර් තුමා, ශ්‍රීමති ඉන්දිරා ගාන්ධි මැතිණිය සහ මහාචාර්ය පී.පී. බපාත් මැතිතුමා යන අය ද වේ. ඉන්දියාවේ සහ ලෝකයේ සෙසු රටවල බෞද්ධ විද්වතුන් රැසක් මෙම පිරිවෙනෙහි අධ්‍යාපනය හදාරා ඇති අතර පිරිවෙනෙහි අධ්‍යයන කටයුතු වලටද දායකත්වය ලබා දී ඇත.

මහ කොමසාරිස්තුමා විද්‍යාලංකාර පිරිවෙනෙහි අධ්‍යයන කාර්ය මණ්ඩලය සමඟ අදහස් හුවමාරු කර ගත් අතර බුදු දහම හා සබැඳි ක්ෂේත්‍රයන්හි ඉන්දියාව සහ පිරිවෙන අතර ශක්තිමත් ඓතිහාසික සහ සංස්කෘතික සබඳතා ගොඩනඟා ගත හැකි ආකාර පිළිබඳව සාකච්ඡා කළේය.

මේ අනුව හුවමාරු වැඩසටහන් සහ පිරිවෙනෙහි පර්යේෂණ කටයුතු සඳහා සහය දීම හරහා ධාරිතා සංවර්ධන ක්ෂේත්‍රය තුළ සහයෝගීතාවයට පවතින අවස්ථාවන් සොයා බැලීමට මෙහිදී එකඟ විය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට පොදු බෞද්ධ උරුමය දෙරට අතර ශක්තිමත් සහ දිගුකාලීන බැඳීමක් වේ. ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන් දෙරට අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාක්මක කළ හැකි ඒකාබද්ධ ව්‍යාපෘතීන් පිළිබඳව සාකච්ඡා කරමින් සිටියි. මේ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා විසින් පසුගිය වසරේදී ප්‍රකාශයට පත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *