උස පැනීමෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ටෙක්සාස්හී අධ්‍යාපන කටයුතුවල නිරතවෙමින් ක්‍රීඩා පුහුණුවීම් සිදු කරන උෂාන් තිවංක පෙරේරා එරට පැවැති 93 වැනි ක්ලයිඩ් ලිට්ල්ෆීල්ඩ් ටෙක්සාස් රිලේස් තරගාවලියේදී වසර 16ක් පැරණි උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ හෙළයි.

අමෙරිකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර වාර්ෂිකව පැවැත්වෙන මේ තරගාවලියේදී මීටර් 2.28ක දක්ෂතාවක් දැක්වූ උෂාන් තිවංක වසර 2005දී මංජුල කුමාර විජේසේකර කොරියාවේ ඉන්චියෝන්හිදී මීටර් 2.27කින් පිහිටුවා තිබූ උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව ඊයේ (28) තමන් සතු කර ගත්තේය.

මේ වසරේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුවෙන් පසුවන ඔහු ඊයේ පෙරවරුවේදී අන්තර්ජාතික උස පැනීමේ ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ 57 වැනි ස්ථානයට පැමිණි අතර, ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ලෝකයේ මුල්ම ක්‍රීඩකයන් 32ක් තෝරා ගන්නා බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සටහන්කරු සමන් කුමාර මහතා පැවසීය.

ඉදිරියේ පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවීම උදෙසා උෂාන් තිවංක ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් එම ශූරතාවලියට සහභාගිවීමෙන් ඔහුට අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වලට තවත් ලකුණු 20ක් ලැබෙන බවත් ඒ මහතා පැවසීය.

“මේ විදිහයට තව තරග දෙක තුනකට සහභාගී වුණොත් තිවංක ඔලිම්පික් යනවා” ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සටහන්කරු පැවසීය. මෙයට දින කිහිපයකට පෙර උෂාන් තිවංක මීටර් 2.25ක දක්ෂතාවකින් උස පැනීමේ ගෘහස්ථ ශ්‍රී ලංකා වාර්තාව ද තමන් සතු කර ගැනීමට සමත් විය. වසර 2018දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2600ක සහභාගීත්වයෙන් සිව් දිනක් පුරා පැවැති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අතිශූර ක්‍රීඩකයා ලෙස උෂාන් තිවංක පෙරේරා සම්මාන දිනාගත් අතර 23න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද නම් කෙරිණි. එහිදී ඔහු 23න් පහළ උස පැනීමේ ඉසව්ව මීටර් 2.20කින් නිමකරමින් නව තරග වාර්තාවක් ද බිහි කිරීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *