ආනයනය කළ පිරිපහදු නොකළ පොල්තෙල්වල පිළිකාකාරක අඩංගු බව දෙවැනි වරටත් තහවුරුයි

(කොළඹ, ලංකාපුවත්) – අලි බ්‍රදර්ස් ‍‍පෞද්ගලික සමාගම, එදිරිසිංහ එඩිබල් හා කටාන රිෆයිනරීස් යන සමාගම් ඉන්දියාවෙන් ආනයනය කළ පිරිපහදු නොකළ පොල්තෙල් තොගවල ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට දෙවන වරටත් ඊයේ සනාථ වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරයි.

ඒ අනුව එම තෙල් තොග සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා එම වාර්තා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර තිබේ. ආන්දෝලනාත්මක පිළිකාකාරක අඩංගු ආනයනය කළ පොල්තෙල් වෙ‍ෙළඳපොළට නිකුත් වී නැති බව සිදු කළ පරීක්ෂණවලදී හෙලිවී තිබෙන බව රජය අවධාරණය කරයි.

ඒ අනුව මතභේදයට තුඩුදුන් ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් තොගවල “ඇෆ්ලටොක්සින්“ නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයෝ මාධ්‍ය හමුවක් පවත්වමින් මීට පෙර කියා සිටියහ.

ඒ අනුව වෙ‍ෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඉකුත් සතිය තුළ මේ සම්බන්ධයෙන් ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පැතිර ගියා. මේ ගැන විපක්ෂය ද විශාල ප්‍රචාරයක් සිදු කළා. දැනටමත් රජයේ වගකිව යුතු ආයතන මේ ගැන ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. ලංකාවට අතීතයේත් වර්තමානයෙත් පොල්තෙල් ආනයනය කිරීම සිදු වෙනවා. ආනයනය කිරීම් සිදුකරන්නේ පෞද්ගලික ආයතනයි. පොල්තෙල් පමණක් නොවේ, කිරිපිටි, අල, ලූනු, මිරිස්, පරිප්පු හා ටින්මාළු වැනි භාණ්ඩවර්ග සියල්ලම ආනයනය කරලා වෙ‍ෙළඳපොළට නිකුත් කරන්න පෙර ප්‍රධාන ආයතන දෙකක් මේ පිළිබඳ අඛණ්ඩ පරික්ෂාවට ලක් කරනවා. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ අංශය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එම පරික්ෂාව සිදු කරනවා. මේ පිළිබඳ චෝදනා ඇතත් නැතත් පැමිණිලි කළත් නැතත් නිරන්තරයෙන් මේ පරික්ෂණ සිදු කරලා තමයි වෙ‍ෙළඳ පොළට නිකුත් කරනු ලබන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ අංශය තමයි මුලින්ම මේ පොල්තෙල්වල පිළිකාකාරක අඩංගු බවට කරුණු සනාථ කළේ.

මෙහිදී සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ පාරිභෝගික සේවා අධිකාරිය දැනට වෙ‍ෙළඳපොළේ අලෙවි වෙමින් තිබෙන පොල්තෙල් නියැදි එක් දිස්ත්‍රික්කයකින් පහ බැගින් ලබාගෙන නියැඳි එකසිය විසිපහක් ලබාගෙන සිදුකළ පරීක්ෂණවලදී පිළිකාරක නොමැති බවට තහවුරු වූ බව පැවසීය.

ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසුවේ පැවැති ක්‍රමවේද අනුව රේගු ගුදම්වලින් මෙම පොල්තෙල් අදාළ සමාගම්වල ගුදම්වලට නිකුත් වුවත් ඒවා වෙ‍ෙළඳපොළට නිකුත් වී නැති බවයි. එම සමාගම්වල ගුදම්වලින් පොල් තෙල් නිකුත් වීම සිදු වෙලා දැයි සොයා බලා පරික්ෂා කිරීමට නිලධාරින් පිරිසක් යවා ඇති බව මෙහිදී කීය.

මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු සියලු අදාළ ආයතනවල නිලධාරිහූ සහභාගි වී කරුණු ඉදිරිපත් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *