තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයෙන් මතට යොමු වූ දරුවන් මුදාගෙන රැකියා දීමේ දැවැන්ත වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – මතට යොමු වූ දරුවන් ඉන් මුදාගෙන පුනරුත්ථාපනය කරමින් රැකියා ලබා දීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය නොබෝදිනකින් ක්‍රියාත්මක කරන දැවැන්ත වැඩපිළිවෙලට මහා සංඝරත්නයේ ගෞරවනීය මැදිහත්වීම අයැද සිටින බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගියදා(28) පැවසීය.

සසුන්ගතව මහණදම් පුරමින් සම්බුදු සසුන රැක ගැනීම උදෙසා තම කුල දරුවන් ශාසනයට පූජා කළ මව්පියන්ට උපහාර පිණිස ක්‍රියාත්මක මිහිඳු නිවහන නිවාස ව්‍යාපෘතිය යටතේ මැදිරිගිරිය පේමානන්ද හිමියන්ගේ දෙමාපියන් වන ටී.ඒ. ප්‍රේමතිලක මහතා සහ එච්.පී. සිරියලතා මහත්මිය සඳහා නිවසක් ඉදිකිරීමට මුල්ගල තැබීමට සමඟාමීව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

මැදිරිගිරිය බෞද්ධ මධ්‍යස්ථානාධිපති මැදිරිගිරිය අස්සජී නාහිමිපාණන් මෙහි දී ප්‍රධාන අනුශාසනාව පැවැත්වූහ.

අනතුරුව මැදිරිගිරි බෞද්ධ මධ්‍යස්ථානයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මිහිඳු නිවහන ප්‍රතිලාභ ලබන සාමණේර හිමිවරුන්ගේ දෙමාපියන් සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් චෙක්පත් 64ක් ප්‍රදානය කෙරිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව නිවාස අමාත්‍යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක වන ‘‘ඔබට ගෙයක් – රටට හෙටක්“ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩ අවසන් කළ නිවාස විවෘත කිරීමේ අවස්ථාවට ද තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එක්වූයේය.

පොළොන්නරුව, මින්නේරිය, යාය 14, තඹලවැව, ජයන්තිපුර ප්‍රදේශයේ බී.ජී. බටගල්ල මහතාට හිමි නිවස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් මෙලෙස ප්‍රදානය කෙරිණි.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා යටතේ මෙම නිවාස ඉදිකිරීම් අධීක්ෂණයවන අතර දැනට මෙම ව්‍යාපෘතියෙන් රටපුරා ඉදිකර අවසන් නිවාස ගණන 14000කි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එහි දී මෙසේ ද පැවසීය.

අග්‍රාමාත්‍යතුමාගේ මහින්ද චින්තනය යටතේ කරගෙන ආ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය සෞභාග්‍යයේ දැක්ම යටතේ නැවත වතාවක් බිම් මට්ටම දක්වා යථාර්ථයක් වී තිබෙනවා.

මහා සංඝරත්නයට සහ විහාරස්ථානවලට ලෙන්ගතු නායකයෙක් ලෙස ගරු අග්‍රාමාත්‍යතුමන් සාමණේර ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපනය නංවා සිංහල, දමිළ ඉංග්‍රීසි ඇතුළු බෞද්ධ දර්ශනය සමග සමීප සබඳතා තිබෙන ජාත්‍යන්තර භාෂාවන් හැසිරවිය හැකි සඝ පරපුරක් බිහි කිරීමට දිගු කාලයක සිට කටයුතු කරනවා.

එමගින් ගමේ දරුවා සහ පන්සල අතර සමීප සබඳතාවයක් ගොඩනඟා ඒ තුළ බෞද්ධ දර්ශනය ආරක්ෂා කිරීමත් එම දර්ශනය ලෝකයට දායාද කිරීමේ අරමුණත් ඉටුවෙනවා.

ශාසනයට දරුවන් දායාද කළ දෙමාපියන් ඇගයීමට ලක්කර එම සාමණේර ස්වාමීන් වහන්සේලාගේ දෙමව්පියන්ට නිවාස 2000ක් සෑදීමට මොණරාගල දිස්ත්‍රික්කයෙන් ඇරඹි මෙම වැඩසටහන පොළොන්නරුවදිස්ත්‍රික්ක තුළ ද දැනට ක්‍රියාත්මකයි. ඉදිරියටත් එම කටයුතු සාර්ථකව කරගෙන යාමට ඔබ තමුන්නාන්සේලාගේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරනවා.

තරුණ පරම්පරාව සිල් සමාදන් කරවීමට කැළණිය බෝ සමිදුන් අභියසින් අප ඇරඹූ යොවුන් ශීල සමාධි වැඩසටහන දෙවන වතාවට කළුතර බෝ සමිදු අභියසත් තුන්වැන්න සේරුවාවිල දීත් අද දින පවත්වනු ලැබුවා.

කාලානුරූපව සෑම මසකම සෑම ගමකම දරුවන් සිල් සමාදන් වන ලෙස මෙම වැඩසටහන ව්‍යාප්ත කිරිමට බලාපොරොත්තු වෙනවා. සෑම ආගමක් තුළම මෙවැනි වැඩසටහන් ව්‍යාප්ත කිරීමට අපේ බලාපොරොත්තුවයි.

ගමේ දරුවන් සහ විහාරස්ථානය සම්බන්ධ කරගෙන මතට යොමු වූ දරුවන් ඉන් මුදා පුනරුත්ථපනය කර දැනුම ලබාදී රැකියාගත කිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස අපි දැවැන්ත වැඩපිලිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා මහා සංඝ රත්නයේ ගෞරවනීය මැදිහත්වීම ලබාදෙන්න යැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත මෙහි දී මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල , පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ.ධර්මසිරි මහත්වරු සහ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් සී.එම්. කරුණාරත්න මෙනවිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *