කෘෂි භෝගවලට ඉහළ මිලක් ලැබුණු නිසා ගොවීන්ගේ අතමිට සරු වුණා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –වී සහ වෙනත් කෘෂි භෝග සඳහා සහනාධාර දෙමින් ඉහළ මිලක් සහතික කිරීම නිසා සෑම ජන කොටසකටම අයත් ගොවීන්ට ප්‍රතිලාභ අත්ව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(30) පැවසීය.

බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමෙන් පසු ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයෙන් කිසිවකු මරණයට පත් නොවූ බවත්, රට තුළ විශාල සංවර්ධනයක් ඇති කිරීමට හැකි වූ බවත් හෙතෙම කීවේය.

ශ්‍රී ලංකාවට අලුතින් පත් කරනු ලැබ සිටින, වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිනි හෝ තී තාන් ටෘක් මහත්මිය (Ho Thi Thanh Truc) ඊයේ (30) ජනාධිපති මන්දිරයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍රය පිළිගැන්වූ අතර එහිදී දෙපිරිස අතර පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එසේ කියා සිටියේය.

අනතුරුව ජනාධිපති රාජපක්ෂ මහතා සහ නව වියට්නාම් තානාපතිනිය වත්මන් ද්විපාර්ශ්වික සබඳතා සහ අනාගත සහයෝගීතා වර්ධනය පිළිබඳ කෙටි වේලාවක් අදහස් හුවමාරු කරගත්හ. වියට්නාම් රජයේ සහ ජනතාවගේ සුබ පැතුම් ජනාධිපතිවරයා වෙත පුද කළ හෝ තී තාන් ටෘක් මහත්මිය ශ්‍රී ලංකාව සමඟ සබඳතාවනට වියට්නාමය ඉහළම ප්‍රමුඛතාවක් දී ඇතැයි සඳහන් කළාය. සිය රට මුහුණ පා සිටි දුෂ්කර අවධියේ දී ශ්‍රී ලංකාවෙන් ලැබුණු සහයෝගය තානාපතිනියගේ පැසසුමට ලක් වුණු අතර තම ධූර කාලය තුළ දෙරට අතර සහයෝගීතාව සහ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි සෑම දෙයක්ම කරන බව කීවාය. වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය අගය කරමින් කතාබහ ආරම්භ කළ ජනාධිපතිවරයා තම රජයේ සමාජ, ආර්ථික දර්ශනය තානාපතිනියට පැහැදිලි කළේය. කෘෂි ආර්ථික සංවර්ධනය, දරිද්‍රතාව පිටුදැකීම, ගැමි ජනයාගේ ආදායම නැංවීම අපේ ප්‍රමුඛතා කිහිපයක්. ඒ අරමුණ දිනා ගැනීමට අවශ්‍ය සැලසුම් දැන් ක්‍රියාත්මක කොට තිබෙනවා. ඒවායේ අවසාන ඉලක්කය අඩු ආදායම්, මැදි ආදායම්, ග්‍රාමීය, නාගරික ආදී සෑම සමාජ ස්ථරයකටම වඩා සතුටුදායක ජීවන තත්ත්වයක් අත්කර දීමයි. අප සංවර්ධනය දෙස බලන්නේ වාර්ගික දෘෂ්ටියකින් නොවෙයි. ජනතාව සමස්තයක් ලෙස සලකමින් යැයි ජනාධිපතිවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *