ගමේ දරුවන් ක්‍රීඩාවට නැඹුරු කර ගැනීමට සමඟාමීව ග්‍රාම නිලධාරී ගැටලුවලට විසඳුම්

(කොළඹ, ලංකාපුවත්) –ගමේ දරුවන් ක්‍රීඩාවට නැඹුරු කර ගැනීමේ ක්‍රියාදාමයට සමඟාමීව ග්‍රාම නිලධාරීන්ගේ මෙතෙක් නොවිසිඳුණු ගැටලුවලට පිළියම් සැපයීමට බලාපොරොත්තු වන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

වසර 50 තිස්සේ නොවිසිඳුණු ගැටලු සම්බන්ධයෙන් එක්සත් ග්‍රාමනිලධාරී සංගමයේ මහත්ම මහත්මීන් ඊයේ (07) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණ ඉදිරිපත් කළ දැනුවත්කිරීම අවසානයේ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් රාජකාරි ගැසට් කර සේවා ව්‍යවස්ථාවක් ලබාදීම සහ රාජකාරි කරගෙන යාමට කාර්යාලයක් සහ කොට්ඨාශයේ සංචාරය සඳහා වන ගෙවීම් ඇතුළු මූලික ගැටලු හා යෝජනා මෙහිදී ඉදිරිපත් විය.

ඒ සම්බන්ධව ඒ මොහොතේ දී ම ක්‍රියාත්මක වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සේවා ව්‍යවස්ථාවක් ලබාදීමේ කටයුතුවල වත්මන් තත්ත්වය සොයා බලා ඊට කඩිනම් විසඳුම් ලබා දෙන බව කියා සිටියේය.

ග්‍රාමනිලධාරි මහත්ම මහත්මීන්ගේ සේවා ස්ථානය සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව යමින් සේවා පියසෙන් මුදල් වෙන්කර සියලුම ග්‍රාමසේවා වසම් සඳහා කාර්යාලීය පහසුකම් සැලසීමේ වැඩපිළිවෙල දැනටමත් අරඹා ඇති බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

ඉදිරි අවුරුදු 2 කාලය තුළ මුදල් ලබාගෙන සේවා පියස ඉඳිකිරිම් 5000 දක්වා වැඩිකර රාජ්‍ය නිලධාරින් සමඟ ක්‍රීඩා පිටි නඩත්තු කරන නිලධාරියා ද ඊට ඇතුළත් වන පරිදි සේවා ස්ථාන ලබාදීමට කටයුතු කරනවා.

එම ක්‍රීඩා පිටි නඩත්තු කරන නිලධාරියා භාරයේ ගමේ දරුවන්ට ක්‍රීඩා කිරීමට ග්‍රාම සේවා වසමකට ක්‍රීඩා බඩු සංචිතයක් ලබාදී ක්‍රීඩා පිටියේ නඩත්තුව හා එම බඩුවල වගකීම ඔහු වෙත පවරා එම වැඩපිළිවෙල විධිමත් හා ක්‍රමවත්ව ක්‍රියාවට නංවනවා යැයි කීවේය.

ගම් මට්ටමේ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගිය පසු ඔවුන් රැකබලා ගැනීමට ක්‍රමවේදයක් සකසන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වූ අතර ඔවුන්ට (Green House Apartment) වැඩපිළිවෙල හා සම්බන්ධ විය හැකි බව අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නේය.

ක්‍රීඩා අමාත්‍යංශය සමඟ එක්ව ග්‍රාම සේවා නිලධාරී මහතුන්ගේ මූලිකත්වයෙන් ග්‍රාමසේවා වසම්වල GS meet පැවැත්වීමට අදාළ ඉදිරි කටයුතු සාකච්ඡා කරගැනීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සමඟ සාකච්ඡාවක් ලබාදීමට ද අමාත්‍යවරයා මෙහි දී කටයුතු කළේය.

සැප්තැම්බර් 31 දාට යෙදෙන ක්‍රීඩා දිනයේ දී ශ්‍රී ලංකාවේ මිලියනයක පිරිසක් කුමන හෝ ක්‍රීඩාවකට යොමු කිරීමේ අරමුණ ඇතිව දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහි දී හෙළි කළේය.

ග්‍රාම නිලධාරි මහත්ම මහත්මීන්ගේ මැදිහත්වීමෙන් ගමේ දරුවන් ද ඊට යොමු කරන්නැයි අමාත්‍යවරයා මෙහි දී ඉල්ලීමක් කළේය.

එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ ග්‍රාමනිලධාරී මහත්ම මහත්මීන්ට අග්‍රාමත්‍යතුමා සමඟ සාකච්ඡාවක් ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

මෙම අවස්ථාවට ග්‍රාමීය පාසල් යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ,එක්සත් ග්‍රාමනිලධාරීන්ගේ සංගමයේ ග්‍රාමනිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *