විපක්ෂය නගන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍යයි – කථානායක

(කොළඹ, ලංකාපුවත්) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් ලියෝ සිල්වෙස්ටර් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ප්‍රධාන විපක්ෂය රට තුළ වැරදි මතවාදයක් සමාජගත කිරීමට උත්සාහ ගත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කර සිටී.

විපක්ෂය විසින් චෝදනා කරනු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(ඊ) වගන්තිය යටතේ රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට කටයුතු කර ඇති බවයි.එම වගන්තියට අනුව මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ අවසරය කලින් නොලබා නොකඩවා මාස 03ක් පාර්ලිමේන්තුවේ රැස්වීම් වලට නොපැමිණීමෙන් මන්ත්‍රීධුරය අහෝසි වේ.

කෙසේ නමුත් රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ඈ) වගන්තිය අනුව යැයි කථානායක අබේවර්ධන මහතා පෙන්වා දී සිටී.

එම වගන්තියට අනුව මන්ත්‍රීවරයකු 89 වැනි ව්‍යවස්ථාවේ හෝ 91 ව්‍යවස්ථාවේ සඳහන් යම් ආකාරයකින් නුසුදුස්සෙක් වීමෙන් මන්ත්‍රීධුරය අහෝසි වේ. 89 ව්‍යවස්ථාවෙන් සහ 91 ව්‍යවස්ථාවෙන් කවර හෝ අධිකරණයකින් වරදකරුවකු වීමෙන් මන්ත්‍රීධුරය අහෝසි වන බව ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත.

එබැවින් විපක්ෂය පාර්ලිමේන්තුවේ දී සමාජගත කිරීමට උත්සාහ ගත් මතය සම්පූර්ණයෙන්ම වැරැදි සහගත බවත් එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටී.

පසුගිය ආණ්ඩුව පැවැති කාලයේ පාර්ලිමේන්තු රැස්වීම් කාලයෙන් 80% ක්ම ආණ්ඩුවට වෙන් කරගෙන තිබුණු බවත්, විපක්ෂයට ලබාදී තිබුණේ 20% ක් පමණක් බවත් පෙන්වා දෙන කථානායක වරයා තමන් එය වෙනස් කළ බවත් මේ වනවිට පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට 40% ක කාලසීමාවක් වෙන් වී තිබෙන බවත් පෙන්වා දුන්නේය.

මෙලෙස කටයුතු කරද්දී පදනම් විරහිත චෝදනා නැගීම අතිශයින්ම වැරැදි සහගත බවද කථානායකවරයා සඳහන් කර සිටී. පාර්ලිමේන්තුවේදී තමන්ට ලැබී ඇති කාලය අර්ථාන්විතව යොදා ගැනීම‍ට පියවර ගන්නා ලෙස ද ඒ මහතා විපක්ෂ මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *