ශ්‍රී ලංකන් කේටරින්වලට නව ප්‍රධාන විධායක නිලධාරීවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනුබද්ධිත ආයතනයක්වන ශ්‍රීලංකන් කේටරින්හි නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස මංගල විජේසේකර මහතා තේරී පත්වූ බව ශ්‍රී ලංකන් කේටරින් නිවේදනය කරයි.

මංගල විජේසේකර මහතා Aitken Spence හෝටල් සමූහයේ විදේශීය හෝටල් මෙහෙයුම් හි හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කර ඇති අතර, ශ්‍රීලංකාවේ සහ විදේශයන්හි ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ වසර 23 කට වැඩි ආයතනික අත්දැකීම් ලබා ඇත. ඒ මහතා සතුව ව්‍යාපෘති කළමනාකරණය, හෝටල් කළමනාකරණය, මූල්‍ය, පරිපාලනය සහ දේපළ මෙහෙයුම් පිළිබඳ පුළුල් දැනුමක් ඇත. එසේම ශ්‍රීලංකාව, මාලදිවයින, ඉන්දියාව සහ ඕමානය ඇතුළු රටවල විවිධ ක්ෂේත්‍ර කිහිපයකම වෘත්තිකයන් සමඟ වැඩකර අත්දැකීම් රාශියක් ඇති අයෙකු ද වේ.

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබා ඇති අතර ඕස්ට්‍රේලියාවේ Southern Queensland විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, ඇමරිකා එක්සත් ජනපදයේ Cornell විශ්වවිද්‍යාලයෙන් ආගන්තුක සත්කාර කළමනාකරණය පිළිබඳ මාස්ටර් සහතිකයත්, කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් උපාධි පාසලෙන් සහ සිංගප්පූරුවේ NUS ව්‍යාපාරික පාසලෙන් ජාත්‍යන්තර කළමනාකරණය පිළිබඳ විධායක පුහුණුව ලබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *