“සුරැකුමට පරිසරය” තේමාව කරගත් පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහන දියත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –”සුරැකුමට පරිසරය” තේමාව යටතේ ලංකාවේ වන ඝනත්වය හා වන ආවරණය ඉහළ නැංවීමේ අරමුණින් පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහන ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් රාගම දියගල ළමා උද්‍යානයේදී(බෝයිස් ටවුන්) ඊයේ (16) ආරම්භ කෙරිණ.

සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව පැළ සිටුවීම සදහා අප්‍රේල් මස 16 වෙනි දින එනම් අද දින පෙරවරු 6.40 ට යෙදී තිබුනු සුබ මොහොතින් රාගම බෝයිස් ටවුන් ප්‍රදේශයේ අක්කර 6 ක භූමීයක පැළ රෝපණය කරමින් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ “සෞභාග්‍යයේ දැක්ම” යථාර්ථයක් කරමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය පිටු දැකීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

“සුරැකුමට පරිසරය” වැඩසටහන යටතේ අවුරුදු හතරකදී පැළ ලක්ෂ 20 ක් සිටුවීමට සැලසුම් කර ඇති අතර ඒ ඒ ප්‍රදේශ වලට ආවෙණික වූ පැළ වර්ග හා පරිසරයට වඩාත් හිතකර පැළ වර්ග රෝපණය කිරීමට කටයුතු යොදා ඇත. ඒ යටතේ 2021 වර්ෂයේදී පැළ ලක්ෂ 05 ක් සිටුවීමට කටයුතු යොදා ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ අවම මට්ටමක පවතින වන ඝනත්වය හා වන ආවරණය ඉහළ නැංවීමේ අරමුනින් ගම්පහ දිස්ත්‍රික්කයේ හදුනාගත් ස්ථානවල වන රෝපනය සිදු කිරීමටද සැලසුම් කර තිබේ.

ගෘහ ආර්ථිකයන් නැංවීම සදහා දිගු කාලීන ආර්ථික භෝග බෙදා දීමක්ද මෙහිදී සිදු කරනු ලැබීය.

රාගම දියගල ළමා ගම්මානයේ සභාපති ඩෙන්සිල් පෙරේරා සහෝදරතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති ඩී.පී.එම්.චන්දන, ඇතුලු රජයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *