කැරොලයින්ගේ කිරුළ අයර්ලන්තයට

(කොළඹ, ලංකාපුවත්) – අයර්ලන්තයේ, කේට් ස්නයිඩර් 2020 ලෝක විවාහක රූ රැජින ලෙස ලෝක විවාහක රූ රැජන සංවිධායක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

2020 ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත්වු ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරිගේ ඉල්ලා අස්වීම එම තරඟය සංවිධාන කළ ආයතනය විසින් පිළිගෙන ඇත.

ඒ අනුව එම තරඟයේ දෙවන ස්ථානය හිමිවු අයර්ලන්ත විවාහක රූ රැජිනට “ලෝක විවාහක රූ රැජින කිරුළ“ ලබාදීමට ඔවුන් ක්‍රියාකර ඇතැයි සදහන්වේ.

පසුගියදා මෙරට පැවැති 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගය අවසානයේ මතු වූ අර්බුදකාරී තත්ත්වයක් හේතුවෙන් කැරොලයින් ජූරි සිය ලෝක විවාහක රූ රැජන කිරුළ අත්හැරීමට තීරණය කළේය.

පසුගියදා පැවති මෙරට විවාහක රූ රැජිණ තෝරාපත් කර ගැනීම සඳහා පැවති තරඟයේදී කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද වූ අයෙකු බව පවසමින් ඇයට හිමි වූ කිරුළ එහි දෙවන ස්ථානය හිමි කරගත් තරඟකාරියට ලබාදීමට කැරොලයින් ජූරි මහත්මිය කටයුතු කළේය.

එම සිදුවීමට එරෙහිව පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් කුරුඳුවත්ත පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අදාළව කැරොලයින් ජූරි මහත්මිය සහ චූලා පත්මේන්ද්‍ර යන අය අත්අඩංගුවට ගෙන පසුව අප්‍රේල් 19 වන දා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *