හිනිදුම ප්‍රදේශයට ආවේණික යැයි සැලකූ නව පැළෑටි විශේෂයක්‌ නාවලකන්ද රක්ෂිත කලාපයෙන් සොයාගනියි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් පමණක් මෙතෙක් වාර්තා වී තිබූ දුර්ලභ පැළෑටි විශේෂයක්‌ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රිත්කයයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ මීගහතැන්න, නාවලකන්ද වනාන්තර පද්ධතියෙන් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත.

Henckelia wijesundarae යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම පෑලෑටි විශේෂය පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්‍ය සුභානි රණසිංහ මහත්මිය විසින් 2016 වර්ෂයේදී ගාල්ල හිනිඳුම ප්‍රදේශයේදී සිදුකල අධ්‍යයනයකදී ප්‍රථම වරට හඳුනා ගැනීමට සමත්වී තිබේ.

ඉන්පසු මෙම පෑලෑටි විශේෂය මෙරට වෙනත් කිසිඳු ස්ථානයකින් වාර්තා නොවීම නිසා හිනිඳුම ප්‍රදේශයෙහි ස්ථානීය ආවේණිකත්වයක් සහිත පෑලෑටියක් ලෙස හඳුනා ගෙන තිබුනද ශාක විශේෂයන් පිළිබඳ අධ්‍යනයෙහි නිරත පරිසර ගවේශකයෙකු වන පේශල පසන් කරුණාරත්න මහතා විසින් මෙම පැළෑටිය නාවලකන්ද ප්‍රදේශයේදී සොයා ගැනීමෙන් පසුව පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ හිටපු නිලධාරියකු මෙන්ම පැළෑටි විශේෂ පිළිබඳ පර්යේෂකයකු වන භාතිය ගොපල්ලව මහතා මෙම පෑලෑටිය Henckelia wijesundarae යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ශාක විශේෂය බව හඳුනා ගන්නා ලදි. පසුව ශාක විශේෂ පිළිබඳ විශේෂඥයකු වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ මහතා විසින් නාවලකන්ද ප්‍රදේශයේ සිදුකල ක්ෂේත්‍ර පරීක්ෂණයකින් අනතුරුව පේශල පසන් කරුණාරත්න මහතා විසින් නාවලකන්ද ප්‍රදේශයේදී සොයාගත් පැළෑටි විශේෂය Henckelia wijesundarae යන ශාක විශේෂය බව පරීක්ෂා කොට තහවුරු කරන ලදි.

සිංහල භාෂාවෙන් මෙම පැළෑටිය හඳුන්වන නාමයක් තවමත් නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි වී තිබෙන අතර මෙරටට ආවේණික පැළෑටියක් බැවින් ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවකින් හඳුන්වන නාමයක්ද මෙම පෑලෑටි විශේෂය සඳහා නොමැති අතර පේරාදෙනිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්ව සිටි දැනට මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂයකු ලෙස කටයුතු කරන මහාචාර්ය සිරිල් විඡේසුන්දර මහතාට ගෞරව පිණිස Henckelia wijesundarae යන විද්‍යාත්මක නාමයෙන් නම්කොට තිබේ. විද්‍යාත්මක වර්ගීකරණය සැලකීමේදී ශාක රාජධානියේ Lamiales ගෝත්‍රයට අයත් Gesneriaceae පවුලේ Henckelia කුලයේ H. wijesundarae යන විශේෂයට අයත් මෙම පලෑටිය මෑතකදී ප්‍රථම වරට වාර්තා වී ඇත්තේ 2008 වසරේදීය. 2008 වසරේ හිනිදුම ප්‍රදේශයෙන් මෙම පෑලෑටිය සොයා ගැනීමෙන් පසුව පළමුව 2008 වසරේදී සහ දෙවනුව 2013 වසරේ දී සිදුකල පරීක්‌ෂණ අනුව මෙම ශාක විශේෂය හඳුනාගෙන ඇත්තේ Henckelia walkerae නමැති විශේෂය වශයෙනි. පසුව 2016 වර්ෂයේදී පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්‍ය සුභානි රණසිංහ මහත්මිය විසින් වැඩිදුරටත් සිදුකරන ලද පර්යේෂණයක් අනුව මෙම ශාක විශේෂය H. walkerae ශාක විශේෂය නොවන බව සොයා ගන්නා ලද අතර මෙම ශාක විශේෂය නව විශේෂයක් ලෙස Henckelia wijesundarae යන විද්‍යාත්මක නාමය යටතේ නම් කරන ලදී. මේ සොයාගැනීමට අදාළ පර්යේෂණ පත්‍රිකාව ජර්මනියේ සිට පළ වන අන්තර්ජාතික උද්භිද විද්‍යාත්මක ජර්නලයක්‌ වන “Willdenowia” හි 2016 අගෝස්‌තු කලාපයේ පළ වී ඇත.

Henckelia කුලයට අයත් විශේෂ 56ක්‌ ඉන්දියාව, ශ්‍රීලංකාව, හිමාලය සහ ගිනිකොනදිග ආසියාව (මැලේසියාව හා තායිලන්තය හැර) යන කලාපවලින් වාර්තා වී තිබේ. මේ අතරින් ශ්‍රී ලංකාවෙන් විශේෂ 8ක සංඛ්‍යාවක් වාර්තා වන අතර ඉන් විශේෂ 7ක්‌ ම මෙරටට ආවේනික විශේෂයන් වේ. මෙම පර්යේෂණය සඳහා ශාක නිදර්ශක හිනිදුම නුගගල ආරණ්‍ය සේනාසනයට පිටුපසින් ඇති වනය තුල මීටර 208ක උස් ප්‍රදේශයකින් ලබා ගන්නා ලද අතර ඉන් පසුව වෙනත් ස්ථානයක හමු නොවූයෙන් මෙතෙක් එම ස්ථානයටම පමණක් මෙම ශාක විශේෂය ආවේනික විශේෂයක් සේ සැලකුණු අතර 2021 වසරේදී නාවලකන්ද ප්‍රදේශයෙන් හමුවීමත් සමග එම ස්ථානීය ආවේනික වාර්තාව වෙනස් වීම සිදුවිය.

නුගගල ප්‍රදේශයේ මෙම පැළෑටිය හමු වූ ස්ථානයේ මෙම පැළෑටි ඉතා සුළු ප්‍රමාණයක් හමුවූ අතර 2021 වසරේ මෙම පැළෑටිය හමුවූ නාවලකන්ද ප්‍රදේශයේද මෙම පැළෑටි හමුවන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයකි. අතීතයේ දී මේ විශේෂය මීට වඩා පුළුල් ව්‍යාප්තියක් දක්වන්නට ඇති බව පර්යේෂකයන් විශ්වාස කරයි. මෙය 1850 වසරට පෙර කළුතර දිස්ත්‍රික්කයේද ව්‍යාප්ත ව තිබුණු බවට විශ්වාස කළ හැකි සාක්‌ෂි හිනිදුම මෙම පැළෑටිය පිළිබඳ පර්යේෂණ කල අවධියේ සිටම පර්යේෂකයන් සතු ව පැවති අතර මෙම නව සොයා ගැනීමත් සමග එම සාක්ෂි තහවුරු කිරීමටද හැකිවී තිබේ. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයෙන් මෙම පැළෑටි විශේෂය වාර්තා වූයේ වසර 170 පමණ පසු බවද සඳහන් කල හැකිය. තේ වගාව හා මිනිස්‌ වාසය සඳහා භූමිය හෙළි පෙහෙළි කිරීමේ දී මේ පැළෑටියට වාසස්‌ථාන අහිමි වී ඇති අතර ඉදිරියේ දී වනවැස්‌ම තවදුරටත් ක්‌ෂය වීමත් සමග මෙය තවදුරටත් අනතුරට පත් වනු ඇතැයි පර්යේෂකයෝ පුරෝකථනය කරති. මේ අනුව මේ පැළෑටිය “අතිශයින් අන්තරායට ලක්‌ වූ” යනුවෙන් වර්ග කර රතු දත්ත පොතට ඇතුළත් කළ යුතු තත්ත්වයක පවතින බවට ද ඔවුහු යෝජනා කර සිටිති.

මෙම පැළෑටිය සොයාගත් නාවලකන්ද වනාන්තර පද්ධතිය වලල්ලාවිට, මීගහතැන්න ප්‍රදේශයේ 849-ඩී බෝගොඩකන්ද ග්‍රාම නිළධාරී වසම පුරා පැතිරී පවතී. මෙම නාවලකන්ද වනාන්තර පද්ධතියද සිංහරාජය කන්නෙලිය වැනි පහතරට තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ වලින් යුත් මානව ජනාවාස අතර පවතින කුඩා වනබිම් රැසක එකතුවකි. අතිශය දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂ රැසක් වාසය කරන මෙම කුඩා වනාන්තර පද්ධතිය පිළිබඳ මෙතෙක් විධිමත් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකර නොමැති අතර එවැනි විධිමත් අධ්‍යයනයක් සිදුකල හැකි නම් මෙතෙක් හඳුනා නොගත් ජීවී විශේෂ රැසක් හඳුනා ගත හැකි වන බවට විශ්වාස කෙරේ. එබැවින් විධිමත් ලෙස දැනුමැති විශේෂඥයන්, පර්යේෂකයන් මඟින් මෙම වනාන්තර පද්ධතිය පිළිබඳ අධ්‍යයනයන් සිදු කොට මෙහි ඇති ජෛව විවිධත්ව හා විද්‍යාත්මක වටිනකම් ලබා ගෙන සංරක්ෂණ ක්‍රියා පිලිවෙත් අනුගමනය කල යුතුය. මෙම වනාන්තරය මානව ක්‍රියාකාරකම් බහුල ගම්මාන ඇසුරේ පවතින නිසා ගම්වාසීන්ද විධිමත්ව දැනුවත් කොට ගම් වාසීන්ද සහභාගී කර ගනිමින් මෙම කුඩා වන බිම් රැක ගැනීමට අවශ්‍ය පියවර ගත යුතුය ඒ මගින් මෙවැනි විශාල වටිනාකමක් සහිත දුර්ලභ ශාක විශේෂ ආරක්ෂා කර ගැනීමට මෙන්ම මෙම ජීව විශේෂ අනාගත ලෝකයට උරුම කර දීමට හැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × two =