මත්ද්‍රව්‍ය පරික්ෂා කිරීමේ යාන්ත්‍රණයක් කඩිනමින් සැකසිය යුතුයි – මහජන ආරක්ෂක ඇමති

(කොළඹ, ලංකාපුවත්) – රිය අනතුරු රාශියක් සිදු වන්නේ සාමාන්‍ය මාර්ග නීති උල්ලංඝනය කිරීම තුළයි මීට ප්‍රධාන හේතුව මත්ද්‍රව්‍යබව භාවිතය බව හදුනාගෙන ඇති නිසා ඒම මත්ද්‍රව්‍ය පරික්ෂා කිරීමේ යාන්ත්‍රණයක් කඩිනමින් සැකසිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

බොහෝ දෙනා සිතන්නේ මත්පැන් භාවිතා කර බීමත් රිය ධාවනය තුළ අනතුරු වැඩි වෙනවා කියලා. නමුත් රිය අනතුරුවලින් එය 4% ක ප්‍රතිශතයක් පමණයි. 48% ක් රිය අනතුරු සිදු වන්නේ සාමාන්‍ය මාර්ග නීති උල්ලංඝනය කිරිම තුළ බවත් එම අනතුරුවලින් 50% වඩා වැඩි ප්‍රතිශතයක් ගංජා, අයිස්, කුඩු හා වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන මාර්ග නීති උල්ලංඝනය කිරීම් වන බව අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විවිධ වූ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට සුදුසු උපකරණ භාවිතය සම්බන්ධව රේඛීය අමාත්‍යංශ දෙපාර්තමේන්තු හා සංවිධාන සමග මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවති රැස්වීමකදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා වසර 10ක දී රිය අනතුරුවලින් 27,000ක ප්‍රමාණයක් මියගොස් ඇති අතර වසර තිහක් පැවති යුද්ධයේදී ජීවිත අහිමි ව ඇත්තේ 29,000 ප්‍රමාණයක් බවත් ඒ හා සසඳන විට එය ප්‍රතිශතක ලෙස විශාල අගයක් ගන්නා බවත් සඳහන් කළේය.

මෙම රැස්වීම සඳහා සහභාගි වූ විවිධ ආයතන නියෝජිතයන් දැනට මත්ද්‍රව්‍ය පරීක්ෂාවට භාවිත වන උපකරණ පිළිබඳවත්, වර්තමානයේ ලෝකය පුරා මත්ද්‍රව්‍ය පරීක්ෂාවට භාවිතා කරන ක්‍රමවේද පිළිබඳවත් දැනුවත් කරන ලදී. එසේම මෙහිදී විශේෂ අවධානය යොමු වූයේ ක්ෂණයකින් මත්ද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් හඳුනාගත හැකි උපකරණ භාවිතා කිරීම පිළිබඳවය. මාර්ග අනතුරු අඩු කිරීම සඳහා මෙම උපකරණ කඩිනමින් භාවිතයට ගැනීම සියලු දෙනාගේ ප්‍රධාන අරමුණ විය.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යංශය, මෝටර් රථ දෙපාර්තමේන්තුව, ජාතික ප්‍රවාහන කොමිසම, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඇතුළු විවිධ ආයතන ගණනාවක නියෝජිතයන් සහභාගිවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 5 =