ශ්‍රී ලංකා ජනාධිපතිගෙන් ඉන්දියාවට සහයෝගය පළ කරමින් ලිපියක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හට ලිපියක් යොමු කරමින් ඉන්දියාව මුහුණ දී සිටින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සංවේගය පළ කර ඇත.

කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ඊයේ(28) ජනාධිපතිතුමා විසින් මෝදි අගමැතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බවය.

අතීතයේ සිටම මෙවන් වසංගත තත්ත්වයන් ජය ගැනීමට ගන්නා ලද මනුෂ්‍යත්වයේ සාමූහික ප්‍රයත්නයන් සාර්ථක වී ඇති බව ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි. මනා කැපවීමක් සහිත විද්වතුන් සහ වෘත්තීයවේදීන්ගේ සහයෝගයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ නායකත්වය යටතේ ඉන්දියාව මෙම අර්බුදයට සාර්ථකව මුහුණ දෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය ඉන්දීය ජනතාව වෙනුවෙන් රතන සූත්‍රය දේශනා කිරීමට සූදානම් වන බව ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය මෝදි මහතාට දන්වා සිටියේය.

ජනාධිපතිතුමාගේ සහ මහා සංඝරත්නයේ කාරුණිකභාවය තුළින් පිළිඹිබු වන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනාවක් පුරා පවතින සමීප සබඳතාවයේ ගැඹුර සහ ශක්තිමත්භාවයයි. කොවිඩ් 19 වසංගත තත්ත්වය විසින් මතුකර ඇති අභියෝගාත්මක කාලයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ සිටීම ඉන්දීය නායකත්වය සහ ජනතාව ඉතා අගය කොට සලකයි.

මූලික සැලැස්මට පෙර ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජයට අවස්ථාව උදා කරමින් ඉන්දියාව විසින් පරිත්‍යාග කරන ලද ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ්-19 එන්නත් මාත්‍රා 500,000 සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් ඉන්දියාවට හෘදයාංගම කෘතවේදීත්වය පළ කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කොවිඩ් 19 වසංගතය විසින් මතුකර ඇති දැවැන්ත අභියෝගයන්ට මුහුණ දීමේදී එකිනෙකාට සහයෝගය දක්වා ඇත. මේ සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාවය සමීප සහ මිත්‍රශීලී ද්විපාර්ශවික බැඳීම් සනිටුහන් කරන අතර එය දෙරට ජනතාවගේ සුබසිද්ධිය සහ ඔවුන් අතර සහෝදර සහ ශිෂ්ටාචාරමය බැඳීම් වර්ධනය කිරීමට තවදුරටත් ඉවහල් වනු ඇතැයි ජනාධිපතිතුමා සිය ලිපිය මගින් වැඩිදුරටත් සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *