කොළඹින් පිට දරුවොත් පදනම් ආයතනයට ඇවිත් ඉගෙන ගන්නවා

(කොළඹ, ලංකාපුවත්) – ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා පදනම් ආයතනයේ වත්මන් සභාපතිනිය වගේම එහි ප්‍රථම කාන්තා සභාපතිනිය නීතිඥ චම්පිකා අමරසේකර මහත්මිය සමග කරන ලද සාකච්ජාවකි මේ.

ප්‍රශ්නය :
සභාපතිතුමියනි, පදනම් ආයතනය කිව්වම බොහෝ දෙනා සිතා සිටින්නෙ විවිධ වැඩසටහන්, මාධ්‍ය හමු , උත්සව ආදිය පවත්වන ස්ථානයක් විදියට.ඇත්තටම මොකක්ද පදනම් ආයතනය කියන්නේ?

පිළිතුර :
පදනම් ආයතනයට අවුරුදු 50 ක පමණ ඉතිහාසයක් තියනවා. ජර්මන් ජන රජයේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා රජයට ලැබුණු ආයතනයක් තමයි මේ ආයතනය. අප රටේ ජනතාවගේ ජන ජීවිතයට පදනමක් එකතු කරන්න හදපු තැනක් කියලා හදුන්වන්නත් පුළුවන්. අපි ඇත්තටම වැඩිහිටි අධ්‍යාපනය කෙරෙහි යොමු වෙලා ඉන්නවා. වැඩිහිටි අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය කිවුවත් වැරදි නැහැ.
ප්‍රශ්නය:
ඔබතුමියගේ සම්ප්‍රාප්තියත් එක්ක මේ ආයතනයේ සිදුවුණු වෙනස්කම් මොනවාද ?

පිළිතුර :
මම මුලින්ම කලේ මෙම ආයතනයට ඇතුල්වන විටම තිබුණු අදුරු වටපිටාව වෙනස් කරලා ආයතනයට ඇතුලුවන තැන සිටම ආකර්ශණයක් ඇතිවන ආකාරයට ආයතනයේ බාහිර පෙනුම වෙනස් කලා. ජනතාවට එන්න ආස හිතෙන තැනක් බවට පත්කලා. ඒ වගේම මම ආවට පස්සේ අධ්‍යාපන අංශය , සිනමා පාසල ඇතුලු සෑම අංශයකම කැපී පෙනෙන වෙනස්කමි රාශියක් සිදු කලා.

ප්‍රශ්නය :
දිවයින පුරා පිළිගැනීමකින් තොර ප්‍රමිතියක් නැති ආයතන බොහොමයක් මේ වන විට උපාධි පිරිනමනවා. බොහෝ දෙනා උපාධි කඩ කියලත් මේවා හදුන්වනවා. පිළිගත් අධ්‍යාපන පාඨමාලා පවත්වන ආයතනයක සභාපතිනිය විදියට ඔබතුමිය මොන වගේ අදහසක්ද මේ සම්බන්ධව දරන්නේ?

පිළිතුර :
ශ්‍රී ලංකා පදනම් ආයතනය කියන්නේ දිවයිනේ පිළිගත් අධ්‍යාපනය ලබාදෙන ආයතනයක්. ඔබ කලින් සදහන් කල ආකාරයේ උපාධි ලබා දෙන ආයතන රැසක් දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකම වගේ තියනවා. ඒ ආයතනවලින් හොද අධ්‍යාපනයක් ලැබෙන්නේ නෑ කියලා මම කියන්නේ නෑ. නමුත් ඒ ආයතනවලින් හොද අධ්‍යාපනයක් දුන්නත් දරුවන්ට රැකියාවකට යාමේ දී පිළිගත් සහතිකයක් දීමට ඔවුනට හැකියාවක් නෑ. විශේෂයෙන්ම විදේශ රැකියාවකට යාමට සූදානම් වන එවැනි ආයතනයක අධ්‍යාපනය හදාරපු දරුවෙක්ට ඒක ලොකු ගැටලුවක් වෙනවා. රාජ්‍ය ආයතනයක් හෝ ඒ හා සමාන වෙනත් ආයතනයකින් වටිනාකමක් තියෙන පිළිගත් සහතිකයක් නොලැබීම නිසා ඔවුන් දැඩි අපහසුතාවකට ලක් වෙනවා.මීට මාස කිහිපයකට කලින් පදනම් ආයතනය මැලේසියාවෙ තිබෙන ලින්කන් කියන විශ්වවිද්‍යාලය සමග ගිවිසුම් ගත වුණා. ඕස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ එම විශ්වවිද්‍යාලයේ ශාඛා තිබෙනවා. ඒ ආයතනයේ දෑ අවුරුදු පාඨමාලා රාශියක් තිබෙනවා. සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන ආකාරයට පාඨමාලා තිබෙනවා. අප දිවයින පුරා තිබෙන උපාධි ලබා දෙන ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතන පිළිබදව සොයලා බලලා ඒවායේ ඉගනගන්න ළමයින්ගෙනුත් තොරතුරු ලබාගෙන සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි එවැනි හොඳම අධ්‍යාපන ආයතන 25 ක් තෝරාගෙන ඔවුන් සමග ගිවිසුමිවලට එළඹුණා. යාපනය මඩකලපුව අම්පාර යන ප්‍රදේශවලිනුත් අධ්‍යාපන ආයතන අප හා අත්වැල් බැඳ ගත්තා.
දැන් ලංකාවේ කොහේ හිටියත් කොළඹ පදනම් ආයතනයට ඇවිල්ලා ඉගනගන්නවා වගේම තමන්ගේ ගමේ ඉදලම පාඨමාලාවක් හදාරන්න දරුවන්ට අවස්ථාව ලැබිලා තියනවා. මොකද ඒ පාඨමාලා සකසන්නේ , විභාග පවත්වන්නේ සියලු කාරණා සිද්ධ වෙන්නේ අපගේ අධීක්ෂණය හා නිරීක්ෂණය යටතෙයි. අඩු තරමේ වෙළඳ දැන්වීමක් වත් අපගේ අධීක්ෂණයෙන් තොරව සකසන්න ඔවුන්ට ඉඩක් නෑ. එහි අඩංගු විය යුතු දේවල් මොනවද තීරණය කරන්නේ අපි . ඒ දැන්වීමක වුණත් 20%ක ඉඩක් සෑම විටම පදනම ලාංඡනයට ලබාදිය යුතුයි. එවැනි ටිකක් දැඩි කොන්දේසි වලට යටත්වයි ඔවුන් ගිවිසුම්වලට එකතු කරගෙන තියෙන්නේ. නමුත් හොද ප්‍රතිචාර ඒ අධ්‍යාපන ආයතන වලින් ලැබෙනවා. ඉතින් මුළු දිවයින පුරාම සිටින දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබාගැනීමට අවස්ථාවක් අපි සකසලා දීලා තියනවා. ඒ වගේම අපේ ආයතනයටත් ඒ හරහා ආදායමක් ලැබෙනවා.

ප්‍රශ්නය :
කොවිඩි 19 වසංගතය මුළු ලෝකයටම දැඩි බලපෑමක් වෙලා තියනවා. ඔබතුමියගේ ආයතනය කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්නේ?

පිළිතුර :
ඔවි අපි විශාල අභියෝග රාශියකට මුහුණ දුන්නා. ළමයින්ට දේශන වලට එන්න විදියක් තිබුණෙ නෑ. ඔන්ලයින් ක්‍රමයට තමයි අපිට ඉගැන්වීම් කරන්න සිදු වුණේ.ඒක එතරම් සාර්ථක නොවුණත් අපි ඔන්ලයින් පාඨමාලා පැවැත්වුවා. ඒ වගේම අපි Microsoft 365 කියලා ව්‍යාපෘතියක් සමග අත්වැල් බැදගත්තා. එයින් අපිට හොඳ ආදායමකුත් ලැබුණා.ඒක දුරස්ථ අධ්‍යාපන වැඩසටහනක් . එකත් එක්ක අපි වැඩ කටයුතු කරගෙන ගියා. දැන් ඉතින් ඉතා වේගයෙන් සුපුරුදු ක්‍රමයට වැඩ කටයුතු කරන්නට පටන් අරගෙන තියනවා. දැන් බොහෝ පිරිස් එනවා අපි ලඟට.

ප්‍රශ්නය:
අපිට දැනගන්නට ලැබුනා ශ්‍රී ලංකා පදනම් ආයතනය රූපවාහිනී නාලිකාවක් ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නවා කියලා.ඒ පිළිබඳ පොඩ්ඩක් මතක් කරමු

පිළිතුර :
ඔව් ඇත්තටම ඒක අලුත් නාලිකාවක් නෙමෙයි. පදනම් ආයතනය යටතේ තිබුනු සී ටී වී කියන පියෝ ටීවී නාලිකාව තමයි ඔබ ඒ සදහන් කළේ. ඉතින් ඒකෙ නම වෙනස් කරලා නව මුහුණුවරකින් ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙලා ඉන්නේ.

ප්‍රශ්නය :
සභාපතිතුමියනි ආයතනයේ දැක්ම සහ ඉදිරි ඉලක්ක මොනවාද?
පිළිතුර :
මුලින්ම මම කියන්න ඕන ආයතනයක් දුවන්නේ නැහැ එහි සේවකයන් සතුටන් නැත්නම් . ඉතින් මගේ දැක්ම වුණේ ආයතනයේ සේවක මහත්ම මහත්මීන්ගේ අගය වැඩි කරන ක්‍රමවේදයක් සැකසීමයි. පිට තැනකට ගියත් මම වැඩ කරන්නේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කියලා ආඩම්බරයෙන් ඔවුන්ට කියන්න පුළුවන් වාතාවරණයක් අපි ඇතිකරලා තියනවා. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පිම්මක් පැනලා අලුත් පාඨමාලා ආරම්භ කරලා , නව ක්‍රමවේද සකස් කරලා අධ්‍යාපන ක්ෂේත්‍රයේ වටිනා අවස්ථා
දරුවන්ට දායාද කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය :
අවසාන වශයෙන් ඔබතුමියට මොකක්ද දෙන්න තියන පණිවිඩය?

පිළිතුර :
ඇත්තටම විශේෂයෙන් සදහන් කරන්න ඕනේ අතිගරු ජනාධිපති තුමාගේ ”සෞභ්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති මාලාවේ අධ්‍යාපනය කෙරෙහි විශේෂ ඉඩකඩක් වෙන් කරලා තියනවා. ඒ වගේම ගරු අගමැති තුමා ද දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමුකරමින් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබදව සොයා බලනවා.අතිගරු ජනාධිපති තුමන් සහ ගරු අගමැති තුමන් අපට සැම විටම උපදෙස් දෙනවා දරුවන් වෙනුවෙන් , මහජනතාව වෙනුවෙන් අපගේ සේවය උපරිමයෙන් ලබාදෙන්න කියලා. අපේ වාසනාවට අත්දැකීම් බහුල කාර්යශූර ඇමතිවරයෙක් අපිට ලැබිලා ඉන්නවා. ඒ තමයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා. එතුමා අපට නිරන්තරයෙන් උපදෙස් හා මඟ පෙන්වීමි ලබාදෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කල යුතුයි අපගේ අමාත්‍යංශයේ ලේකම්තුමා ජගත් පී විජේවීර මැතිතුමා. එතුමා ඉතා කාරුණිකව අපට උපදෙස් ලබාදෙමින් නායකත්වය සපයනවා. එතුමා අපට ලොකු හයියක්. ඉතින් මේ සියලු දෙනාගේ ආශිර්වාදයෙන් සහ සහයෝගයෙන් පදනම් ආයතනය දරුවන්ට සහ මහජනතාවට සේවාවන් රැසක් සපයන සුහදශීලී ආයතනයක් බවට පත්කරලා තියෙන්නේ. ඉතින් මම ආරාධනා කරනවා දරුවන්ට අපේ පාඨමාලාවලට සම්බන්ධ වෙන්න කියලා. ඒ වගේම පොදුවේ හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතුවෙලා අපගේ සේවය ලබා ගන්න කියලා.

සාකචිඡාව කළේ – යසස්/ලසනි – ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *