අගමැති ඉෆ්තාර් චාරිත්‍රය ඉටු කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වාර්ෂිකව පවත්වන ඉෆ්තාර් චාරිත්‍රය මෙවර කොවිඩ් පාලන නිතිරීති වලට අනුව මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඊයේ (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ඉස්ලාම් ආගමික නායකයන් ඇතුළු ඉස්ලාම් බැතිමතුන් රැසකගේ සහභාගීත්වයෙන් වෙනදා පැවැත්වෙන ඉෆ්තාර් චාරිත්‍ර උත්සවය කොවිඩ්-19 හේතුවෙන් මෙවර කිහිප දෙනෙකුට සීමා විය.

මුස්ලිම් පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් පැමිණ සිටි මන්ත්‍රීවරු මෙහි දී මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු පිලිබඳව අග්‍රාමාත්‍යතුමාට කරුණු ඉදිරිපත් කළහ.

මුස්ලිම් කොංග්‍රසය, මුස්ලිම් ජාතික සන්ධානය, සමස්ත ලංකා මහජන පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ අග්‍රාමාත්‍යතුමා හමුවී සුහද සාකච්ඡාවක නිරතවෙමින් ඉෆ්තාර් චාරිත්‍රය ඉටු කළහ.

මන්ත්‍රීවරු ඉදිරිපත් කළ මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යතුමා විශේෂ අවධානය යොමු කළේය.

ඉෆ්තාර් ආගමික චාරිත්‍රය අරලියගහ මන්දිරයේ දී ඉටුකිරීමට ලැබීම විශේෂත්වයක් බව මෙහි දී මන්ත්‍රීවරු සඳහන් කළහ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන නසීර් අහමඩ්, එච්. එම්. එම්. හාරීස්, එස්. එම්. එම්. මුෂාරෆ්, අලි සබ්රි රහීම්, එම්. එස්. තව්ෆික්, ඉෂාක් රාහුමන්, ෆයිසල් කාසිම් මන්ත්‍රීවරු සහ අග්‍රාමාත්‍යතුමාගේ මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් ෆර්සාන් මන්සූර් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *