ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) 54 වන වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (05) පස්වරුවේ පැවැත්විණි. එහි දී 2021/2022 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක‍්ෂ මහතා තේරී පත්විය.

මුදල් අමාත්‍යවරයා වශයෙන් අගමැතිවරයා මෙම තනතුරට පත්වන විට ශ්‍රී ලංකාව ආසියානු සංවර්ධන බැංකු (ADB) අධිපති ධූරය හොබවමින් සිටිෙය්ය.

ජෝර්ජියාවේ ටිබිලිසිහි පැවැත්වීමට නියමිත ව තිබූ මෙම වාර්ෂික මහා සභා රැස්වීම වර්තමාන වසංගත තත්ත්වය හේතුවෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. ඔස්ට්‍රියාවේ සහ මොන්ගෝලියාවේ ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන් මෙහි දී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු ලෙස තේරී පත්වූහ.

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන වසරේ කොළඹ දී පැවැත්වීමට නියමිත අතර 54 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතා අගගමැතිවරයා කළ සම්පූර්ණ කතාව මෙසේ ය.

ආයුබෝවන් !
ආසියානු සංවර්ධන බැංකුවේ 54 වන වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වෙමින් මගේ අදහස් බෙදා ගැනීමට හැකිවීම භාග්‍යයක් කොට සලකනවා. ලබන වසරේ මෙම රැස්වීම කොළඹ දී පැවැත්වීමට නියමිත නිසා එය තවත් විශේෂිතයි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පෙර නොවූ විරූ ලෙස මිනිස් ජීවිත අහිමි වී ඇති අතර අපේ ජන ජීවිතය, සමාජය, ආර්ථිකය මෙන්ම වටිනා හර පද්ධති සහ අපගේ සංස්කෘතික භාවිතයන් සියල්ල කඩාකප්පල් වී තිබෙනවා. එවැනි පසුබිමක් තුළ නැවත සාමූහිකව නැගී සිටීමට සුදුසු ම කාලය මෙය බව මම විශ්වාස කරනවා.

මෙම සියවස ආසියානු සියවසයි. අපේ කලාපය බොහෝ අර්බුදයන්ට මුහුණ දී තිබෙනවා. ඒ වගේ ම ඒවාට ඔරොත්තු දීමේ හැකියාව සඳහාත් ආසියාව ප්‍රසිද්ධියක් උසුලනවා. එබැවින් වර්තමාන වසංගත තත්ත්වය තුළ පවා අපගේ කලාපය ලෝකයේ දියුණුවට නායකත්වය දීම පුදුමයක් නොවේ.
අධිපතිවරුනි,
නැගී එන ආසියාවට ලෝකය මෙහෙයවීමේ වගකීමක් තියෙනවා. දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිසරයක් උදෙසා අප විසින් තිරසාර භාවිතයන් සහතික කළ යුතුයි.
අපගේ ප්‍රතිපත්තිමය විසඳුම් පාරිසරික හා සමාජීය වශයෙන් තිරසාර විය යුතුයි. අනාගත පරපුර සඳහා අපගේ ජීවන රටාව අප විසින් ආරක්ෂා කළ යුතු වෙනවා. දැන් අවශ්‍ය වන්නේ අපගේ පොදු ගැටලු විසඳා ගැනීම සඳහා සාමූහිකව සහයෝගයෙන් කටයුතු කිරීමයි.

මෙම ඉලක්කය කරා යාමට ස්වාභාවික සම්පත් වඩාත් කාර්යක්ෂම ව භාවිත කිරීම සඳහා අපට උපකාරී වන භාවිතයන් සහ තාක්ෂණය අනුගමනය කිරීමට අප සූදානම් විය යුතුයි.
ඒ නිසා “හරිත ආර්ථිකයක්” තුළ සේවාවන් සැපයීම පහසු කිරීම සඳහා ඩිජිටල්කරණයේ වැදගත්කම ශ්‍රී ලංකාව දැනටමත් හඳුනාගෙන තිබෙනවා. ඒ වගේ ම අපගේ රජය, රාජ්‍ය අංශයේ මහජන සේවාවන් ඩිජිටල්කරණය කිරීම වේගවත් කර තිබෙනවා.

ඊට අමතරව අප සියලු දෙනා ම පොසිල ඉන්ධන මත යැපීම අඩු කළ යුතු වෙනවා. පොසිල ඉන්ධන භාවිතය අඩු කරමින් පුනර්ජනනීය බල ශක්තිය දක්වා යොමු වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සාමාජික රටවලට සහයෝගය දෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

නැගී එන ආසියාවේ පරිසර හිතකාමී තිරසර නගර බිහි කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විශාල සහයොගයක් දිය යුතු යැයි අප විශ්වාස කරනවා. එය නව ප්‍රවේශයක් වනවා මෙන් ම ඒ තුළින් විධිමත් ලෙස සම්පත් කළමනාකරණය සිදුවනු ඇත.

අවධානය යොමු කළ යුතු තවත් වැදගත් අංශයක් වන්නේ කාන්තාවන් සවිබල ගැන්වීමයි. සාධාරණ සමාජයක් වෙනුවෙන් කාන්තාව ඉටු කරන තීරණාත්මක කාර්යභාරය අප හඳුනාගත යුතුයි. ආසියානු කලාපය මේ සම්බන්ධව සැලකිය යුතු ප්‍රගතියක සිටිය ද ඔවුන් වෙනුවෙන් තව තවත් සම්පත් යෙදවිය යුතු බව මම විශ්වාස කරනවා.

මෙම වසංගත තත්ත්වය හමුවේ ඉතා කඩිනමින් සාමාජික රටවල සහයට ඩොලර් බිලියන 20 ක් බෙදාහරිමින් ආසියානු සංවර්ධන බැංකුව දුන් සහයෝගය අපි සිහිපත් කළ යුතුයි. එන්නත්කරණය සඳහා ශ්‍රී ලංකාවට සහ තවත් බොහෝ රටවලට ඩොලර් බිලියන 9ක් ලබා දී ඇති අතර එම සහයෝගය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවට ස්තූතිවන්ත වීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

අප ඉදිරියේ ඇත්තේ භයානක අභියෝගයක්. කෙසේ වෙතත් අපට එක්ව මෙම අභියෝගයට කාර්යක්ෂම ව හා ඵලදායී ලෙස මුහුණ දීමට හැකියාව ඇති බවත් ඒ සඳහා අවශ්‍ය නායකත්වය ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ඇති බවත් මට විශ්වාසයි.

අවසාන වශයෙන්, ලබන වසරේ කොළඹ දී පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික මහා සභා රැස්වීමට ඔබ සැමට ආරාධනා කරනවා. ඒ සඳහා අවස්ථාව ලැබීම මම භාග්‍යයක් කොට සලකනවා.

මෙම වැදගත් සංවාදය අඛණ්ඩව පවත්වා ගෙන යාමට බලාපොරොත්තු වන අතර ඔබ සැමට ආරක්ෂිත සහ නිරෝගිමත් දිවියක් ප්‍රාර්ථනා කරනවා.
තෙරුවන් සරණයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *