මහවැලි ගංගා ඉවුරුවල කුඹුක් හා උණ පැළ රෝපණයට ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ දිගම ගඟ වන මහවැලි ගංගාවේ ඉවුරු ඛාදනය වැළැක්වීම සඳහා ගං ඉවුරු දෙපස උණ පැළ හා කුඹුක් පැළ රෝපණය කිරීමේ වැඩ සටහනක් ආරම්භ කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය හා ටෝකියෝ සිමෙන්ති සමාගම එක්ව අද (06) අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාත්, ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ආර්. එස්. ඥාණම් මහතාත් ඊට අත්සන් තැබීය. එම අවස්ථාවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන ආර්. ඒ. ආර්. රූපසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා-

කිලෝමීටර් 335ක් දිග ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගංගා ද්‍රෝණියම ආවරණය වන පරිදි ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට උණ පැළ හා කුඹුක් පැළ රෝපණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් ගතවීම අද සිදු කළා. මේ සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන්නේ අපේ රටේ දශක කිහිපයක සිට ව්‍යාපාරික කටයුතු කරන කීර්තිමත් ආයතනයක් වන ටෝකියෝ සිමෙන්ති සමාගම විසින්.

එහි කළමනාකරණ අධ්‍යක්ෂ එස්. ආර්. ඥාණම් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට පළමුව මගේ ස්තුතිය පළ කරනවා. අතිගරු ජනාධීපතිතුමන් විසින් පසුගිය සතියේ ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් කර තිබෙනවා ගංගාධාර සංරක්ෂණය සඳහා කුඹුක් පැළ හා මී පැළ වැනි රුක්රෝපණ කටයුතු ආරම්භ කරන බව.

අද අපි මෙම ගිවිසුම අත්සන් කරන්නේ එම අදහසත් සැළකිල්ලට ගනුමිනුයි. මේ අනුව මහවැලි ගංගාව ආරම්භ වන සමනල කන්ද සිට ත්‍රිකුණාමලය දක්වා කිලෝමීටර් 335ක දුර ප්‍රමාණයේ මහවැලි ගඟේ ඉවුරු දෙපස අපි පැළ 167,500ක් රෝපණය කරනවා. ඉන් සියයට 20ක් උණ පැළ වන අතර සියයට 80ක් කුඹුක් පැළයි.

ගංඉවුරු ඛාදනය වැඝැක්වීම මෙන්ම ගං ඉවුරුවල සංරක්ෂණ කළාප නම් කිරිමේ වැඩ පිළීවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. එහි සමාරම්භක පළමු වැඩ පිළීවෙළයි අද දින මෙසේ ආරම්භ කරන්නේ. අප රටේ දිගම ගංගාව වන්නේ මහවැලි ගඟයි. කිලෝමීටර් 335ක දුරක් පූජනීය සමනල කන්දෙන් ඇරඹී ත්‍රිකුණාමලයෙන් සාගරය දක්වා ගලා බසින මහවැලි ගඟ ඉන්දියාවේ ගංගා ගඟ මෙන් අපේ ගංගා පද්ධතියේ අප සතු ඉහළම ස්වාභාවික සම්පතයි.

මහවැලි ගඟේ සමස්ත ගං ද්‍රෝණිය වර්ග කිලෝමීටර් 10,448ක්. අපේ රටේ දැවැන්තම වාරි ව්‍යාපෘතින් හා කෘෂිකාර්මික කළාප මහවැලි ගංගා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මකයි. මේ යටතේ ප්‍රධාන වාරි ඉදිකිරීම් කිහිපයක් තිබෙනවා වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, පොල්ගොල්ල, බෝවතැන්න, කොත්මළේ, හා මොරගහකන්ද ව්‍යාපෘතින් ඊට අයත්.

ඒ අනුව අපේ රටේ මහවැලි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය සඳහා එම ගඟ ගලා යන කිලෝමීටර් 335ක් දුර ගඟේ ඉවුරු දෙකම ආවරණය වන පරිදි උණ පැළ හා කුඹුක් පැළ රෝපණය කිරීමේ වැඩ සටහනක් ඇරඹීමට අපි තීරණය කර තිබෙනවා. මෙම පියවර ලංකා ඉතිහාසයේ වැදගත්ම අවස්ථාවක් ලෙසයි මම දකින්නේ.අප රටේ පළමුවරට තමයි මෙතරම් දිග ගංගාවක් ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩ සටහනක් ඇරඹෙන්නේ.මෙහි රෝපණය කරන සෑම පැළයක්ම මහ ගසක් දක්වා වැඩෙන තෙක් රැක බලා ගැනීමේ පියවර ක්‍රියාත්මක කරන්නේ ස්ථිර වැඩ පිළීවෙළක් සමගයි.

ඉවුරු රකින පවුරු යන නමින් ඇරඹෙන මෙම රුක්රෝපණ වැඩ සටහන අපේ රටේ ඉතිහාසයේ ගංගාවක් ආශ්‍රිතව ක්‍රියාත්මක වන පළමු රුක්රෝපණ ව්‍යාපෘතිය ද විය හැකියි.

වැදගත්ම කාරණය තමයි මේ සඳහා රජයේ මුදල් රුපියලක් හෝ අපි වැය කරන්නේ නැහැ. මින් පෙර අපි මධ්‍යම කඳුකරයේ ඉහළ ජලාධාරා ප්‍ර දේශවල රුක් රෝපණය කිරීම මෙන්ම අලුත් අවුරුද්දට ආරම්භ කළ නැකතට පැළයක්, කාබන් පෑන් හා දත් බුරුසු බහළුම් බෙදා දීම ඇතුළු විශාල ව්‍යාපෘති සඳහා සහයෝගය ලබා ගත්තේ පුද්ගලික අංශයෙන්.

මෙහිදී අදහස් පළ කළ ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ආර්. එස්. ඥාණම් මහතා.- අපි මින්පෙරත් පරිසර වැඩ සටහන් රැසකට සහයෝගය ලබා දී තිබෙනවා. විශේෂයෙන් කඩොලාන ආරක්ෂාවටත්, ඒවා වගා කිරීමටත් අපි ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *