වසර දහස් ගණනක ඉතිහාසයක් සහිත චීනයේ ෂියාන් නගරයේ වීදි ආහාර..

(කොළඹ, ලංකාපුවත්) – ෂැන්සි පළාතේ අගනුවර වන ෂියාන් නගරය, චීනයේ හොඳම වීදි ආහාර සහිත නගරවලින් එකක් ලෙස සැලකේ. සහල් සහ නූඩ්ල් කෑම වලට අමතරව, පැතලි පාන් (flatbreads) මෙහි ප්‍රධාන ආහාරයක් ලෙස දැකිය හැකිය.

ෂියාන් හි බොහෝ වීදි රාත්‍රී කාලයට ලොව පුරා ආහාර ආහාර ලෝලීන්ගෙන් පිරී යයි.හුදෙක් ආහාරයක් වීම පමණක් නොව එය ඉතා සෞඛ්‍යාරක්ෂිත හා පිරිසිදු බවින් යුක්ත වීම මෙහි වීදි ආහාර ලොව ප්‍රසිද්ධ වීමේ රහසයි.

වසර 7000කට වැඩි ඉතිහාසයක් සහිත චීන ශිෂ්ටාචාරයේ පදනම් නගරයක් ලෙස පැවතීම, ෂියාන් නගරයේ දියුණු ආහාර සංස්කෘතියක් ගොඩනැගීමට හේතුවී තිබේ. වසර 1100කට වැඩි කාලයක් තිස්සේ ෂියාන් නගරය චීනයේ ෂැන්සි පළාතේ දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික මධ්‍යස්ථානය ලෙසට හැඳින්විණ. පුරාණ සේද මාවතේ නැගෙනහිර පර්යන්තය වූ ෂියාන් නගරය, පුරාණ කාලයේ ඉපැරණි චීනය හා බාහිර ලෝකය සම්බන්ධ කළ ස්ථානයක් ලෙස ද සැලකේ. එය පැරණි චීනයේ රජ පෙළපත් 13ක අගනුවර බවට පත් වී තිබිණ.

එමෙන්ම ෂියාන් නගරය චීනයේ ඉතා ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ද වේ. එම නගරය, වසර 1982 දී ප්‍රථමයෙන් චීනයේ ජාතික මට්ටමේ ‍‍‍ඓතිහාසික හා සංස්කෘතික නගර නාමාවලියට ඇතුළත් විය.

ෂියාන්ට ආවේණික ආහාර වර්ග රැසක් පවතී. “එළුමස් පෝමෝ” (Mutton Paomo) එහි ඉතා ජනප්‍රිය ආහාරයකි. සුප්‍රසිද්ධ මුස්ලිම් කෑමක් ලෙස ජාත්‍යන්තර කීර්තියක් ලැබී ඇති එම ආහාරය භුක්ති විඳීම සඳහා ලොව නන් දෙසින් සංචාරකයෝ එහි පැමිණෙති.

“පුරාණ අගනුවර හොඳම කෑම” ලෙස හැඳින්වෙන “ගෝර්ඩ් චිකන්” (Gourd Chicken) ද ෂියාන් හි ඉතා ජනප්‍රිය සාම්ප්‍රදායික ආහාරයකි. රන්වන් වර්ණය, හැපෙනසුළු සම, හොඳ සුවඳකින් යුක්තවීම බොහෝ දෙනා මෙය අනිවාර්යයෙන්ම රස බැලීමේ හේතුවයි.

“චිෂාන් නූඩ්ල්ස්” (Qishan Noodles) උපන් නගරය ලෙස සැලකෙන්නේ ද ෂියාන් නගරයයි. චීනයේ ඉපැරණි චින් රජ පෙළපත් (Qing Dynasty) සමයේ සිට ආරම්භ වූ ඉතිහාසයක් එම ආහාරයට ඇත.

ඉංග්‍රීසි බසින් “මස් බර්ගර්” හෝ “මස් සැන්ඩ්විච්” යන අර්ථය ඇති “රූ ජියා මෝ” (Rou Jia Mo) යනු ඉහළ ආකර්ෂණයක් සහිත තවත් ෂියාන්හි දේශීය සුලු කෑම වර්ගයකි. වසර 2000 කට පමණ ඉතිහාසයක් සහිත එය ලෝකයේ පැරණිතම “හැම්බර්ගර්” ලෙස සැලකේ.

මෙවැනි ඓතිහාසික ආහාර වර්ග දහස් ගණනක් රාත්‍රී කාලය තුළ ෂියාන් නගරයේ වීදි වලදී ලබා ගත හැකිය.පාරිභෝගිකයා ඉදිරියේ එම ආහාර පිළියෙල කිරීමේ ක්‍රම වේදය ද තවත් රසවත් අත්දැකීමකි.එමෙන්ම පාරිභෝගිකයා කැමැත්තක් දක්වන්නේ නම් එහි ආහාර පිළියෙල කිරීමේ ක්‍රමවේදයට ඔහුට ද දායකවීමේ අවස්ථාව සැලසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *