DFCC බැංකුව, 2020 CNCI Achiever සම්මාන උළෙලේ ප්‍රධාන අනුග්‍රාහක සහ නිල බැංකු සහකරු ලෙස ශ්‍රී ලාංකීය ව්‍යාපාර ඇගයීම සඳහා දායක වෙයි

(කොළඹ, ලංකාපුවත්) –අඛණ්ඩව 3 වන වරටත් ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (Ceylon National Chamber of Industries – CNCI) සමග අත්වැල් බැඳගනිමින්, ඔවුන් විසින් සංවිධානය කරන ලද CNCI Achiever සම්මාන උළෙලේ 2020 අදියරේ ප්‍රධාන අනුග්‍රාහකයා සහ නිල බැංකු සහකරු ලෙස DFCC බැංකුව කටයුතු කරන ලදි.

නිර්මාණශීලී විසඳුම් සමගින්, අභියෝග ජයගනිමින් සහ සිය සේවාදායකයන්ගේ අවශ්‍යතා සපුරාලමින් අදාළ කර්මාන්ත වල දියුණුවට විශිෂ්ට දායකත්වයක් දැක්වූවන් ඇගයීමට ලක්කිරීම CNCI Achiever සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණ වේ. අඛණ්ඩව 19 වන වරටත් පැවති එම සම්මාන උළෙල, සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කරමින්, කොළඹ ගලධාරී හෝටලයේදී පසුගියදා පැවැත්විණි.

මේ සම්බන්ධයෙන් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “19 වන වරටත් පැවැත්වුණු CNCI Achiever සම්මාන උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා සහ නිල බැංකු සහකරු ලෙස කටයුතු කිරීමට හැකිවීම අපට මහත් සතුටක්. මේ ආකාරයට විවිධ ක්ෂේත්‍ර වල විශිෂ්ට ක්‍රියාකාරීත්වයන් පෙන්නුම් කළ සාර්ථක ශ්‍රී ලාංකික ව්‍යාපාර ඇගයීම සඳහා දායක වීමට ලැබීම අප සලකන්නේ ගෞරවයක් ලෙසයි. මෙම සම්මාන උළෙල සඳහා අප ලබාදෙන අනුග්‍රාහකත්වය, රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ උන්නතියට දායක වෙමින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා අප දරන උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.”

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට සහන ණය යෝජනා ක්‍රම සහ උපදේශන සේවා වැනි සේවාවන් රාශියක් පිරිනමන නිසා DFCC බැංකුව මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අතර අතිශයින් ජනප්‍රිය බැංකුවක් බවට පත්වී තිබේ. DFCC බැංකුව CNCI Achiever සම්මාන උළෙලට මෙලෙස වාර්ෂිකව අනුග්‍රාහකත්වය ලබාදීම එම ජනප්‍රියත්වය යළි යළිත් තහවුරු කරන පියවරක් ලෙස හැඳින්විය හැක. මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල අවශ්‍යතාවන් අනුව කාලීන ණය, කාරක ප්‍රාග්ධන ණය, ව්‍යාපාර ණය, බැංකු ඇපකර, කල්බදු සේවා, වෙළඳ මූල්‍ය පහසුකම් සහ වෙනත් ණය පහසුකම් පිරිනැමීමට මෙන්ම උපදේශන සේවා, මාර්ගෝපදේශ හා වැඩමුළු සංවිධානය කිරීමටද DFCC බැංකුව නිරන්තරයෙන් කටයුතු කරයි.

මෙරට විවිධාකාර වූ සමාගම් හා ආයතන සිය ප්‍රමිති මට්ටම්, ඵලදායීතාව, ආයතනික සැලසුම්, පර්යේෂණ හා සංවර්ධන කටයුතු, සේවක ප්‍රතිලාභ හා කම්කරු සබඳතා ආදිය සම්බන්ධයෙන් පෙන්නුම් කරන සාර්ථකත්වය හා ඒවා වෙනුවෙන් දක්වන කැපවීම ඇගයීමට ලක්කිරීම CNCI Achiever සම්මාන උළෙලේ මූලික අරමුණ වේ. මෙම වසරේදීද සේවා හා කාර්මික ව්‍යාපාරයන්ට ප්‍රධාන කාණ්ඩ 3 ක් යටතේ සම්මාන පිරිනමන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *