රටත් ජනතාවත් ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපතිතුමා ඉටු කරනවා – රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් තුන්වැනි රැල්ල පාලනය මෙන්ම රටේ අනෙකුත් දෛනික කාර්යයන් බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යමින් රටත්, ජනතාවත් ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපතිතුමා කටයුතු කරමින් සිටින බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා පැවසීය.

මිනිස් ජීවිතවල වටිනාකම විපක්ෂයට වඩා හොඳීන් ආණ්ඩුවට දැනෙන බවද හෙතෙම කීවේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා- කොවිඩ් වසංගතයෙන් රටේ ජනතාව ආරක්ෂා කිරීමට කළ හැකි සෑම ක්‍රියාමාර්ගයකටම රජය අවතීර්ණ වී තිබෙනවා. මිනිස් ජීවිතවල වටිනාකම විපක්ෂයට වඩා හොඳින් අපට දැනෙනවා. විපක්ෂය සිදු කරන්නේ සෑම විටම විවේචනය කිරීම පමණයි. විපක්ෂය පාලන බලයේ සිටින කාලයේ මිනිස් ජිවීත ආරක්ෂා කිරීමවත් රටේ සංවර්ධනයවත් සිදු කළේ නැහැ. ඔවුන්ගේ කාලයේ සිදුවුණේ පාස්කු ප්‍රහාරය සිදුවීම, මහ බැංකුව කොල්ල කෑම, දේශපාලන පළි ගැනීම් හා ජාතික ආරක්ෂාව බිඳ වැටීම වැනි රටේ ජනතාව පීඩාවට පත් වූ සිදුවීම් පමණයි.

විපක්ෂය මේ රටේ ආර්ථිකය ඉතාමත් දුර්වල මට්ටමකට ඇද දමා තිබුණා. සෘණ බවට පත් වූ ආර්ථිකයක් තමයි වත්මන් ජනාධිපතිතුමා බාර ගත්තේ. එවැනි අවස්ථාවක කොවිඩ් 19 වසංගතයටත් අපට මුහුණ දීමට සිදු වුණා. දැන් වසරකට අධික කාලයක් මෙම අභියෝගයට මුහුණ දෙමින් සිටිනවා. තවත් කොපමණ කාලයක් මෙහි බලපෑම තිබේවිද කියා කිසි කෙනෙකුට නිශ්චිතව කියන්න බැහැ. ඒ නිසා කොවිඩ් පාලනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් රටේ අනෙකුත් කාර්යයන් ද බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට කටයුතු කරමින් සිටිනවා.

අප ප්‍රමුඛතාව දී තිබෙන්නේ කොවිඩ් 19 පාලනයටයි. මේක ලෝකය පුරා පැතිර යන වසංගත තත්ත්වයක්. මේ නිසා සෑම රටකම රැකියා ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ඇතුලු ගැටලු ගණනාවක් මතු වී තියෙනවා. මීට මුහුණ දෙන්න රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යන්න ඕනෑ. විපක්ෂය අපට භාර දුන්නෙත් වැටුණ ආර්ථිකයක්. මෙයට මුහුණ දීම සඳහා ජනාධිපතිතුමා සෞඛ්‍ය විශේෂඥයන් සමඟ සාකච්ජා කරමින් කොවිඩ් 19 පාලනය සඳහා එන්නත්කරණ කටයුතු කඩිනම් කරන්න උපදෙස් දී තිබෙනවා. ඒ වගේම සංචරණ සීමා ආදිය පැනවීමට කටයුතු කර තිබෙනවා. රටේ බහුතරයක් ජනතාව දැඩි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් මේ වසංගතය පාලනයට සහාය දක්වනවා. යුද්ධය වේලාවෙදී අපේ ජනතාව කොපමණ කැපවීමක් කළාද කියා අපට මතකයි. ඒ වගේම මෙම ව්‍යසන අවස්ථාවේදීත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ජනතාව තම යුතුකම ඉටුකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළට සහාය දක්වයි කියා අපට විශ්වාසයි.

අද විපක්ෂයට තියෙන්නේ රාජපක්ෂ බියක්. බැසිල් රාජපක්ෂ මහතා විදෙස් ගත වුණාම විපක්ෂය විවිධ විවේචන ඉදිරිපත් කරනවා. එතුමා විදෙස්ගත වුණත් අදාළ කාර්ය සාධක බළකායෙන් පැවරී තිබෙන වගකීම් සම්බන්ධීකරණය සිදු කරමින් සිටිනවා. එතුමා සිය කාර්යයන් අවසන් කරගෙන ලංකාවට එනවා. ඒ නිසා විපක්ෂය ඒ පිළිබඳ කලබල විය යුතු නැහැ. අද විපක්ෂය බලයේ සිටියා නම් කොවිඩ්වලින් පමණක් නෙමේ, මේ රටේ ජනතාව කුසගින්නේ මියැදෙන තත්ත්වයකට රට පත්වන්න ඉඩ තිබුණා. විපක්ෂය කියන විදියට අප රටේ සංවර්ධනය නතර කරන්නේ නැහැ. රටත් ජනතාවත් ආරක්ෂා කර ගනිමින්, සංවර්ධන කාර්යයන්ද ඉදිරියට ගෙන යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *