“මහජනතාවයට දැනුම් දෙන්න” සංසරණය වූ whatsapp පණිවිඩය

(කොළඹ, ලංකාපුවත්) –එන්නත්කරණය ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකයම අවධානයෙන් සිටින්නාවූ කාරණයක්.. සමහර රටවල් රටේ ජනගහනයට වඩා එන්නත් ගබඩා කර ගන්නා අතර සමහර රටවල් සදහා තවමත් එකදු එන්නතක් හෝ නොලැබී තියන පසුබිමක ලංකාවේ පෞද්ගලික ආයතන සදහා එන්නත් ගෙන්වීම වලක්වූ බව පවසමින් සංසරණය වූ whatsapp පණිවිඩයක සත්‍යතාවය සෙවීමට Fact Research කණ්ඩායම තීරණය කරන ලදී.

සමාජ ජාල සටහන්

“මහජනතාවයට දැනුම් දෙන්න” යන සිරස්තලය යටතේ මෙලෙස පණිවිඩයක් බොහෝ පුද්ගලයන් අතරට ලැබී තිබිණි.

“ලංකාවේ පෞද්ගලික සමාගම් ඩොලර් මිලියන 50 ඇස්ට්‍රා සෙනිකා එන්නත ගෙන්වීමට රජය මීට මාස 3 කට පෙර එකගතාවය පල කර , ඊට අමතරව පිටරට ඖෂධ නිෂ්පාදන සමාගම් වල ඇනවුම් ද ලබා ගෙන තහවුරු කර ගෙන සිටියහ. නමුත් ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. රජයට කිසිම ප්‍රශ්නයක් නැතිබව දැන්වුහ.දැන් තත්වය ඇස්ට්‍රා සෙනිකා ඇනවුම් ඉහල ගිය නිසා ලංකාවට එය මෑත කාලයේ නොලැබිණි. පළමු මාත්‍රාව ගහපු ලක්ෂ 6 කට දෙයියන්ගේ පිහිටයි. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත නොකරපු එන්නත් දීමට තද බල උත්සාහයක..:”

Fact Check (තොරතුරු විමර්ශනය)

අප මේ පිළිබද COVID-19 එන්නත් සඳහා ජාතික යෙදවීම සහ එන්නත් කිරීමේ සැලැස්ම සඳහා අට දෙනෙකුගෙන් යුත් පත්කළ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානි ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ගෙන් විමසීමක් කරා.

මේ whatsapp පණිවිඩය අසත්‍ය හා ද්වේෂ සහගත පණිවිඩයක් කියල කියන්න පුළුවන්.. මේ එන්නත් සියල්ල හදිසි භාවිතය සදහා නිපදවූ එන්නතක් නිසා ප්‍රමුඛතා ලබා දී ඇත්තේ රජයන්ට පමණි. මෙම එන්නත් ආනයනය කරන නියෝජිතයන් සමඟ පෞද්ගලික ආනයනකරුවන් සාකච්ඡා කර ඇති නමුත් ඔවුන්ට එක් මාත්‍රාවක්වත් ගෙන ඒමට බැරි උනා.

හේමාස්, සිටි හෙල්ත් (ඇස්ට්‍රාසෙනෙකා සහ සෙරුම් ආයතනයේ නියෝජිතයින්) මෙය ආනයනය කිරීමට උනන්දුවක් දැක්වුවා. මේ පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආචාර්ය පාලිත අබේකෝන් මහතා සාක්ෂි දරනවා.

පෞද්ගලික අංශයේ සමාගම් තම සේවකයින්ට එන්නත් කිරීම සඳහා එන්නත් ආනයනය කිරීම සඳහා අරමුදල් ලබා දුන් බව සත්‍යයක්, නමුත් රජයට අරමුදල් හිඟයක් පවතින බවට පැතිරෙන රාවය සම්පුර්ණ අසත්‍යක්.

ලොව පුරා ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලීටර් මිලියන 20 ක හිඟයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරනවා. සීරම් ආයතනයේ ඇති වූ ගින්න හා ඉන්දියාවේ වර්තමානයේ පවතින තත්ත්වය නිසා අපේක්ෂා නොකළ හිගයක් ලොව පුරා ඇති උනා. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ දෙවන මාත්‍රාව සඳහා ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාව 600,000 ක් වන අතර එය ලබා ගැනීම සඳහා රජය වෙනත් රජයන් හා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් එය ඉදිරි දින කිහිපය තුල ලංකාවට රැගෙන ඒමට හැකි බවත් මම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගෙන් විමසීමක් කරා.

අපි එන්නත්කරණය ජනගහනයෙන් 60% ක් වත් බලාපොරොත්තු වනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ එක් එන්නතක් ගැන පමණක් නොව එන්නත් කිහිපයක් ගැන අවධානය යොමු කරන්න කියලා. අපි හැම එන්නත් කරන සමාගම් සමගම මේ පිළිබද සාකච්චා ආරම්භ කරා. ඒ සමාගම් තමයි ඇස්ට්‍රා සෙනිකා සමාගම, ස්පුට්නික්, ෆයිසර්, සයිනොෆාර්ම්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන්. ලංකාවේ ජනගහනයෙන් 1/3 කට එන්නත් ලබා දෙන්න මේ සමාගම් ගිවිසුම් වෙලා තියනවා. ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් 1/3 ක ජනගහනයට එන්නත් ලබා දෙන්න පොරොන්දු වෙලා තියනවා.

Advocata ආයතනයේ ප්‍රධානී ධනනාත් ප්‍රනාන්දු මහතාගේ facebook ගිණුමෙන් උපුටා ගත් සටහන පහත දැක්වේ
2021 මාර්තු වෙද්දි බොහෝ ධනවත් රටවල් වලට ඔවුන්ගේ මුලු ජනගහනයම කිහිප වතාවක් එන්නත් කරන්න පුලුවන් තරමට එන්නත් ඔවුන් වෙන් කරගෙන තිබුණා. ඒ රටවල් වලත් එන්නත්කරණයේ ප්‍රශ්ණ තියනවා. කිසිම අවුලක් නැත්තෙ නෑ. ඒත් බලන්න පහත තියෙන්නෙ ඔවුන්ගේ රටවල් වලට ඔවුන්ගේ ජනගහන​ය එන්නත් කරන්න දැනට වෙන් කරගෙන තියන මාත්‍රා වාර ගණන

කැනඩාව 8.7
එක්සත් රාජධානිය 7.3
නවසීලන්තය 6.6
ඔස්ට්‍රේලියාව 5.1
චිලී 5.7
යුරෝපා සංගමය 4.6
ඇමරිකා එක්සත් ජනපදය 4.0.

මීට අමතරව විවිද රටවල් විවිධ එන්නත් ගබඩා කර ගෙන ඇති ආකාරයත් බලන්න ඕන.

USA – AzreaZenica – 300 million doses – USD 1.2 billion
USA – Novx – 10 million doses
Japan – AzreaZenica – 120 million doses
Japan – Pfizer Biotech – 120 million doses
Canada – Moderna – 120 million doses
UK – AzreaZenica – 90 million doses
UK – Pfizer Biotech – 300 million doses

දැන් ඉතිං කොහොමද ලංකාවට එන්නත හම්බවුණේ සහ මොකක්ද මේ කෝවැක්ස් (Covax) වැඩසටහන කියන්නෙ. හැම රටකටම එක එක සමාගම් එක්ක ගිවිසුම් ගහන්න බැරි නිසා විශේෂයෙන්ම මැදි ආදායම් ලබන රටවල් වලට ලෝක සෞඛ්‍ය සංවිධානය, CEPI සහ GAVI කියන ආයතන තුන එකතු වෙලා එන්නත් දෙන වැඩසටහන තමයි ඔය. ඒකට සල්ලි දෙනෙත් ඔය ධනවත් රටවල් ටිකම තමයි.

නිගමනය (Conclusion)

ඉහත දැක්වෙන නිරීක්ෂණ, විශ්ලේෂණ කිරීමෙන් පෙනී යන්නේ කොවිඩ් මර්දනය සදහා නිපදවූ එන්නත් හදිසි භාවිතය සදහා ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ කර ඇති බවත්, ඒවා ලබාදීමේ දී රජයන්ට ප්‍රමුඛතාවය හිමිවන බවත් ය. ඊට අමතරව ඇස්ට්‍රා සෙනිකා එන්නත ලැබීම පරක්කු වන්නේ ඉන්දියාවේ වර්තමානයේ පවතින තත්වය නිසා බවත් ශ්‍රී ලංකා රජය ඇස්ට්‍රා සෙනිකා එන්නත වෙනත් රටවලින් රාජ්‍යතාන්ත්‍රික ලෙස ලබා ගැනීමටත් කටයුතු කරන බවයි. එම නිසා ඉහත whatsapp පණිවිඩය මහජනයා නොමග යැවීමේ අරමුණින් කුමන්ත්‍රණකාරී ලෙස සංසරණය වන බව හා එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

(මූලාශ්‍ර උපුටා ගැනීම – Fact Research)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *