කොවිඩ් එන්නත් ලබාගැනීමට හා සහතික කිරීමට ඩිජිටල් සේවාවක්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ්-19 වැලැක්වීමේ එන්නත මහජනතාවට ලබාගැනීමට කල්තියා අවස්ථාවක් වෙන්කර ගැනීම හා එන්නත ලබාගත් පුද්ගලයන් සදහා ඩිජිටල් ප්‍රතිශක්තිකරණ සහතිකයක් නිකුත්කිරීමේ කොවිඩ්-19 පුරවැසි ද්වාරය (COVID-19 Citizen Portal) අන්තර්ජාල වෙබ් සේවාවක් ආරම්භ කිරීමට සෞඛය අමාත්‍යංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පියවර ගනියි.

එහි සමාරම්භය අද (19) යුධහමුදා රෝහලේදී සිදුවිය.

මෙම සේවාව මහජනතාව සදහා ඉදිරි දින කිහිපයතුල දී ලබාදීමට අපේක්ෂා කෙරේ.

මේ සදහා වෙබ් අඩවියකට පිවිසීමෙන් ලියාපදිංචි වියහැකිය. ලියාපදිංචි විමත් සමග එන්නත ලබාගැනීමට ආසන්නම ස්ථානය හා වෙලාවක් ස්වයංක්‍රීයව ලැබෙනු ඇත.

එන්නත් දෙකම ලබාගත් පුද්ගලයකුට ඒ පිළිබද විස්තර සහතික කල QR කේතයක් සහිත ප්‍රතිශක්තිකරණ සහතිකයක් සෞඛය අමාත්‍යංශය මගින් නිකුත්කෙරේ. ලබාගත් එන්නත් වර්ගය ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු එහි අඩංගුවේ. එය ශ්‍රී ලංකාවට අනන්ය QRකේතයක් වන අතර ලෝකයේ ඕනෑම රටකින් අදාළ අංශවෙත ඉදිරිපත්කර මෙම වෙබ් අඩවිය හරහා තහවුරුකරගත හැකයි. මෙම සහතිකය අන්තර් ජාලයෙන් බාගතකරගත හැකි අතර අනන්‍යතාව තහවුරු කිරීම ජංගම දුරකථනය මගින් සිදුකෙරේ. අවශ්‍ය නම් එක දුරකථන අංකයකින් පව්ලේ සැමට ලියාපදිංචි විය හැකිය. සහතිකපත් වෙන් වෙන්ව නිකුත්කෙරේ. මෙම ඩිජිටල් වැඩසටහන මගින් එන්නත් මධ්‍යස්ථානවල තදබදය අවම කිරීමත් එන්නත් දෙකම ලබාගත් පුද්ගලයෙකුට ලැබෙන සංචරණ පහසුකම් බාධාවකින් තොරව ලබාගැනීමටත් හැකිවනු ඇති බව තොරතුරු හා සන්නිවේදන සන්නිවේදන නියෝජිතායතනය සදහන් කරයි .

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය එස් එච් මුණසිංහ, යුධහමුදා රෝහල් අධ්‍යක්‍ෂ කර්නල් චම්පික අත්තනායක ,තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ, ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බි හේරත් ඇතුළු පිරිසක් සහභාගීවුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *