බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩනයක් – 24 වනදා සුළි කුණාටුවක ලකුණු

(කොළඹ, ලංකාපුවත්) –බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් එළඹෙන 26 දින දක්වා දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද (22) පැවති මාධ්‍ය හමුවේ දී මේ බව සදහන් විය.

එසේම බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය 23 වන දින වන විට පීඩන අවපාතයක් දක්වාත් 24 දින වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවත් පවතින බව පෙන්වා දෙන ලදී. ලබන 26 වන දින මෙම සුළි කුනාටුව බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවේ නිරිතදිග කළාපයට ඇතිවිය හැකි වැසි තත්ත්වය හේතුවෙන් ගංවතුර, නායයාම්, දැඩි සුළං සහ මුහුදු රළ ඉහළ යාම නිසා වෙරළාශ්‍රිත පහත් බිම් ජලයෙන් යටවීම, බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සහ විටින් විට පැයට කිලෝමීටර් 70 – 80 දක්වා තද සුළං වැනි ආපදා සිදුවිය හැකි බවත් මේ නිසා ආපදා අවාදානම් අනතුරු ඇගවීම් පිළිබදව නිරන්තර අවධානය යොමු කරන මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන ලදී.

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුළ ධීවර සහ නාවුක කටයුතු වල නොයෙදෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *