පසුගිය සතියේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්ගේ ඉහළ සහභාගීත්වයක්

(කොළඹ, ලංකාපුවත්) – ගතවූ සතිය තුළ කොවිඩ් 19 හේතුවෙන් සංචරණ සීමා පැනවීම, පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවයට කැදවීම් සීමාකිරීම ඇතුළු අභියෝග මධ්‍යයේ සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තුව දින තුනක් රැස්විය.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාශයට පත්වීමත්, ඒඅනුව ඊට අදාළ විවාදය පැවැත්වීමත් නිසා බොහෝ දෙනාගේ අවධානය පාර්ලිමේන්තුව කෙරෙහි යොමුව තිබිණි. මෙම විවාදය නිසාම පාර්ලිමේන්තුව බොහෝ උද්යෝගීමත් සහ උණුසුම් විය.

පසුගිය සතියේ 18, 19 සහ 20 තෙදින රැස්වූ පාර්ලිමේන්තුවේ මැතිඇමතිවරුන්ගේ සහභාගීත්වයද ඉහළ මට්ටමක පැවතීම විශේෂ සිදුවීමක් විය. මැයි 18 වන දින මන්ත්‍රීවරු 202 (90%) දෙනෙක්ද මැයි 19 වන දින මන්ත්‍රීවරු 198 (88%) දෙනෙක්ද සහභාගී වූ අතර 20 වන දින සහභාගීවූ මන්ත්‍රීවරු ගණන 216 (96%) කි.

එසේම බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මෙන්ම බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ද ගතවූ තෙදින තුළම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගීවන අයුරු දක්නට ලැබිණි.

සතියට නියමිත පාර්ලිමේන්තු කටයුතු ඇරඹුනේ 17 වන සදුදා පෙරවරුවේ පැවැත්වුණු මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීතිවල අඬුපාඩුකම් හඳුනාගැනීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා රැස්වීමත් සමඟය. පාර්ලිමේන්තුවේ සභානායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එහි පළමු රැස්වීම එදින පෙ.ව 10.30ට ඇරඹිණි.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවලට අදාළ ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි සංශෝධන ඉදිරිපත් කිරීමත් මෙම කාරක සභාවේ කාර්යභාරයයි. රැස්වීම ආරම්භයේදී කාරක සභාවේ කාර්‍යභාරය එහි සභාපති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එහි සාමාජික මන්ත්‍රීවරයන්ට දැනුම්දීමෙන් පසු ඉදිරියේදී කාරක සභාවේ කටයුතු පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව සාකච්ජා විය. පාර්ලිමේන්තුව රැස්වන දිනයක් නොවුණද කාරක සභාව නියෝජනය කරන බහුතරයක් මන්ත්‍රීවරු ඊට එක්ව සිටීම කැපී පෙනුණි.

මෙහිදී මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යුහයේ සහ නීතිවල සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජන අදහස් ලබා ගැනීමට ද මාසයක කාලයක් ලබා දීමට කාරක සභාව එකග විය. මේ අනුව මහජනතාවට සිය යෝජනා තැපැල් මගින් ලිඛිතව එවීමට හෝ විද්‍යුත් තැපෑල මගින් යොමුකිරීමටත්, අවශ්‍ය නම් කාරක සභාව වෙත පැමිණ අදහස් දැක්වීමටත් ඉදිරි කටයුතු සලසන ලෙස කාරක සභාව මෙහිදී පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. මේඅනුව මෙම කාරක සභාවේ ලේකම් වන කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිගේ අත්සනින් යුතුව භාෂා ත්‍රිත්වයෙන් පුවත්පත් නිවේදන පළ කිරීමට මෙම සතිය තුළදීම කටයුතු කරන ලදී.

පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක දෙකෙහි පැවති මෙම රැස්වීමට එහි සාමාජිකයන් වන කැබිනට් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී. එල්. පීරිස්, එම්. යූ. එම්. අලි සබ්රි යන මහත්වරුද, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රීරුන් වන කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්. ඒ. සුමන්තිරන්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරු ද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *