SLT-MOBITEL වෙසක් සිරියෙන් හදවත් ආලෝකමත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –මේ වනවිට රට පුරා පවතින වසංගත රෝග තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනෙකු සිටිනුයේ බියෙන් හා තැතිගැන්මෙනි. එවැනි තත්ත්වයක් තුළ, ශ්‍රී ලාංකිකකයන්ගේ හදවත් පහන් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සිය ප්‍රධාන කාර්යාලය වෙසක් පහන් වලින් ආලෝකමත් කිරීමට කටයුතු කළේ ය.

SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා විසින්, මැයි 25 වන දින, සංකේතීයව පළමු වෙසක් පහන දල්වන ලදි. සෞඛ්‍ය විධිවිධාන දැඩි ලෙස අනුගමනය කරමින් පැවති මෙම අවස්ථාවට SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවෝ පිරිසක් සහභාගී වූහ.

මෙම වසරේ SLT-MOBITEL වෙසක් සැමරුමෙහි තේමාව වූයේ, ගිහි ජීවිතය සම්බන්ධ බෞද්ධ දැක්ම මැනැවින් නිරූපණය කරන සිඟාලෝවාද සූත්‍රයයි. සමාජ සම්බන්ධතා තුළදී නිසි අවබෝධයෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කිරීම මගින් මෙලොවදීම අත්විඳිය හැකි යහපත එමගින් අවධාරණය කෙරේ. තෙමඟුලෙහි පණිවිඩය ශ්‍රී ලාංකික හදවත් වලට වඩාත් සමීප කරවීම සඳහා, ප්‍රධාන ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යද භාවිතා කරමින්, සිඟාලෝවාද සූත්‍රයෙන් කෙනෙකුගේ එදිනෙදා ජීවිතයට මෙන්ම පොදුවේ මුළු මහත් සමාජයටම ගතහැකි ආදර්ශ පෙන්වා දීමට SLT-MOBITEL කටයුතු කළේ ය.

මෙම වැඩසටහනේ ආගමික පදනම සහ එහි වැදගත්කම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, SLT සමූහ ව්‍යාපාරයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසී ය. “වෙසක් යනු ලොව පුරා වෙසෙන බෞධයන්ගේ පූජනීයම දිනයයි. එහෙත් මෙවර වෙසක් දිනය උදා වූයේ, මුළු රටටම තර්ජනයක් වී තිබෙන COVID-19 රෝගයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා රජය ඉමහත් ප්‍රයත්නයක් දරමින් සිටින කාලයකයි. මෙවර අපගේ වෙසක් සැමරුම් වල තේමාව වන සිඟාලෝවාද සූත්‍රය, සාමූහිකව රැකවරණය සලසා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙනවා. මා සිතන ආකාරයට, එය අද අප මුහුණ දී තිබෙන තත්වයට මුළුමනින්ම අදාළයි. සුපුරුදු උත්සව සැණකෙළි අත්හැර දමා අප මේ දුෂ්කර අවස්ථාවේදී පොදුවේ අපගේ සමාජයේ යහපත ගැන කල්පනා කළ යුතු වෙනවා. එවැනි තත්ත්වයක් තුළ, මේ වෙසක් පහන් හා ආලෝක ප්‍රදර්ශනය, බුදුරජාණන් වහන්සේට කරන්නා වූ ආමිස පූජාවක් ලෙස සැලකීමට අප කැමතියි.”

ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට අතිශයින් වැදගත් වන ජාතික තලයේ සේවාවන් සපයන්නෙකු ලෙස SLT-MOBITEL කවදත් රටේ යහපත උදෙසා පෙරමුණ ගැනීමට සූදානමින් සිටී. විශේෂයෙන්ම දැනට පවතින වසංගත රෝග තත්ත්වය හමුවේ, ජනතාවට සහන සැලසීම සඳහා සමාගම මෙන්ම එහි කාර්ය මණ්ඩලයද කැපවී කටයුතු කරයි. එමෙන්ම, පවතින තත්ත්වය හේතුවෙන් නිවසේ සිට අධ්‍යාපනය ලැබීමට සිදු වූ දරුවන්ට සහ නිවසේ සිට රාජකාරි කිරීමට සිදු වූ වැඩිහිටියන්ටද අඛණ්ඩව සම්බන්ධතා පහසුකම් සැපයීමට සමාගම කටයුතු කර තිබේ. ‘ඉටුකම’ ජාතික අරමුදලට මුලින්ම දායක වූ මෙන්ම වැඩිම දායකත්වයක් සැපයූ සමාගම් අතරින් එකක් වන SLT-MOBITEL, ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන යටතේ රජය සමග එක්වී, රටේ ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශ වලට සන්නිවේදන පහසුකම් සැපයීමට කටයුතු කරමින් සිටී.

පොදුවේ වගකීම්සහගත ලෙස කටයුතු කරමින්, රටම මුහුණ දී සිටින COVID-19 උවදුරෙන් මිදීමට අප උත්සහ කරමින් සිටින මේ මොහොතේ, මේ පින්බර තෙමගුලේදී සියලු ශ්‍රී ලාංකික හදවත් ආලෝකමත් වී සැනසීම ලැබේවායි SLT-MOBITEL ප්‍රාර්ථනා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *