ධීවර කටයුතු වෙනුවෙන් අද සවස සිට අවසර දෙන ප්‍රදේශ

(කොළඹ, ලංකාපුවත්) –කළුතර සහ මීගමුව මුහුදු ප්‍රදේශ අතර ධීවර කටයුතු සදහා තහනම් කලාපයක් හදුන්වාදී ඇති අතර අදාල ප්‍රදේශය හැර අනෙකුත් ප්‍රදේශ වල අද(31) සවස සිට නැවත ධීවර කටයුතු සදහා අවසර ලබා ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද උදෑසන මීගමුව නගර සභාවේදී මීගමුව ප්‍රදේශය නියෝජනය කරන ධීවර සංවිධාන ප්‍රධානීන් සහ නියෝජිතයන් සමග ගිනිගත් නෞකාව නිසා ධීවර කර්මාන්තයට ඇති වී ඇති ගැටළු සහ එය නිරාකරණය කිරීම පිළිබඳව සාකච්ඡාවක් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.

මේ අවස්ථාවට මීගමුව නගරාධිපති දයාන් ලන්සා , ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරුන් හා ධීවර නියෝජිතයන් , ආගමික නායකයන් සහ පොලිසිය සහභාගි විය .

එහිදී රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සාකච්ඡාවෙන් අනතුරුව පහත තීරණ ප්‍රකාශයට පත්කරන ලදී.

කළුතර සහ මීගමුව මුහුදු ප්‍රදේශ අතර ධීවර කටයුතු සදහා තහනම් කලාපයක් හදුන්වාදී ඇති අතර අදාල ප්‍රදේශය හැර අනෙකුත් ප්‍රදේශ වල අද සවස සිට නැවත ධීවර කටයුතු සදහා අවසර ලබා ඇත.

මෙයට අමතරව මීගමුව කලපුව ප්‍රදේශයේ පරීක්ෂණ කටයුතු හා පිරිසිදු කිරීම් අවසන් වන තුරු ධීවර කටයුතු සදහා නැවත දැනුම් දෙනතුරු තහනම් කලාපයක් ලෙස හදුන්වාදී ඇත.

xpress pearl නෞකාවේ විනාශය නිසා ධීවර කටයුතු කරගෙනයාමට නොහැකිව අදායම් අහිමි වූ කණ්ඩායම් සියල්ල හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය වන්දි මුදල් ඉදිරියේදී ලබා දීමට සූදානම් කර ඇති අතර අදාල වන්දි ලබාදීමට අවශ්‍ය තක්සේරු කටයුතු දැනටමත් ආරම්භකර ඇත බවත් වන්දි ලබාදෙන තෙක් ඔවුන් සියලු දෙනා වෙනුවෙන් රජයෙන් ලබා දෙන දීමනා මුදල් ලබා දීමට තීරණය කර ඇත.

මත්ස්‍ය තොග සහ මුහුදු ජලය පරික්ෂා කිරීමේ කටයුතු නිරන්තර සිදුකරන අතර එම පරික්ෂාවන්වල නිරීක්‍ෂණ හා නිගමන මත ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණගැනීම් සිදුවේ.

සුපුරුදු පරිදි මත්ස්‍ය තොග මිලදීගැනීමේ කටයුතු සහ බෙදාහැරී මේ කටයුතු වෙනුවෙන් ධීවර සංස්ථාව ඍජුව මැදිහත් වීම සිදුවන බවත් ප්‍රකාශ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *