ගිනිගත් නැවෙන් සිදු වූ පාරිසරික හානිය ගණනය කිරීමේ කටයුතු අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට ලක් වීම හේතුවෙන් සිදු වූ පාරිසරික හානිය ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය.

අංශ කිහිපයක් එක්ව එම කටයුතු සිදුකරන බවත් එහිදී සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි අදාළ ගණනය කිරීම් සිදු කරන බවත් එයට ටික කාලයක් ගත වන බවත් ඇය කීවාය.

මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව නීතිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වු බව ද ඇය සඳහන් කළාය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අංශ හයක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අතර නැවේ දත්ත ඇතුළත් යන්ත්‍රනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර රහස් පොලිස් කණ්ඩායමක් නැවේ නිරීක්ෂණය කළ බවත් නැවේ කපිතාන්වරයා ඉංජිනේරුවරයා ඇතුළු 25කට අධික පිරිසකගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඊට අදාළ විමර්ශන සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

මේ අතර ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිතයාර් වන සී. කොන්ගසෝටියම් ලංකා පෞද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අර්ජුන හෙට්ටිආරච්චි ඇතුළු 7 දෙනකු සැකකරුවන් වශයෙන් නම් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ නඩුවක් පවරා ඇති අතර එම නඩුව ලබන 15 වැනි දා යළි කැඳවීමට නියමිතය.

නැවට ආරක්ෂාව ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනී පෙරේරා මහත්මිය නාවික හමුදාපතිවරයාට නඩුව කැඳවූ පසුගිය 07 වැනිදා නියෝග කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − four =