ගුවන් හමුදාව එන්නත්කරණ තොරතුරු හඳුනාගැනීමේ QRකේතය දියත්කරයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොවිඩ්-19 එන්නත්කරණ තොරතුරු හඳුනාගැනීමේ QRකේතය හඳුන්වාදීමේ වැඩසටහන ඊයේ(11) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත ගුවන් හමුදා තොරතුරු තාක‍්ෂණ අධ්‍යක‍්ෂකයේ මගපෙන්වීම යටතේ රත්මලාන ගුවන් හමුදා කඳවුරු අංක 01 තොරතුරු තාක‍්ෂණ පක‍්ෂාංගය විසින් කොවිඩ් -19 එන්නත්කරණ තොරතුරු හඳුනාගැනීමේ QRකේතය සකස් කරන ලදී.

එය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එන්නත්කරණයට ලක්වූ සියළුම සාමාජික සාමාජිකාවන් හට භාවිතා කිරීමට නියමිතව ඇත.

QR කේතයේ හදුන්වාදෙමින් පළමු QR කේතය ගුවන් හමුදා තොරතුරු තාක‍්ෂණ අධක‍්ෂක එයාර් කොමන්ඩෝ අරෝෂ විතාන මහතා විසින් ගුවන් හමුදාධිපතිතුමන් වෙත ලබාදෙන ලදී. මෙම QR කේතය ගුවන් හමුදාවේ එන්නත්කරණයට ලක්වූ සියළුම සාමාජික සාමාජිකාවන් හට ලබා දීමෙන් අනතුරුව ඔවුන්ගේ රැකියා තොරතුරු, ඔවුන් එන්නත්කණයට ලක්වූ දිනයන් පළමුවන හා දෙවන මාත්‍රාව වෙන් වෙන් වශයෙන්ද, ලබාගත් එන්නත්
වර්ගයේ වෙළඳ නාමය ඇතුළු විස්තර ලබාදීමට හැකිවෙයි.

රත්මලාන අංක 01 තොරතුරු තාක‍්ෂණ පක‍්ෂාංගයේ අණදෙන නිළධාරී ස්කොඩ්්‍රන් ලීඩර් කේඩීසී ක්‍රිෂාන්ත මහතාගේ නායකත්වය යටතේ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එච්ජීඑල් පුෂ්පකුමාර, ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එම්එම්එන්එස් ජයතිලක, සැරයන් සඳමාන් ජීඩබ්ඩීඑම්, සැරයන් මධුෂංක එච්ඩීජී සහ සැරයන් සංජීව කේඒජී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් ඇතුළු ගුවන් හමුදා අධ්‍යක‍ෂක මණ්ඩලය, තොරතුරු තාක‍ෂණ ඒකකයේ නිළධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *